Saturday, February 17, 2024

පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන තීරු ලිපි

 

        තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂය ක්ෂේත්‍රයන් යටතේ 250-750 අතර ප්‍රමාණයකින් පුවත්පතේ එක් තීරුවකට ප්‍රමාණවත් වන පරිදි රචනාවන ලේඛනය තීරු ලිපිය වේ. මෙම තීරුලිපි රචකයන් විශේෂඥ පිරිසක් වශයෙන් බුහුමන් ලබනු ලැබේ. පුවත්පතේ පිටු සැකසීමේදී ඉතිරි වූ හිඩැස් පිරවීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස තීරුලිපි රචනය ආරම්භ විය. මුල් කාලයේ මෙම හිඩැස පිරවීමට ආගමික ශාස්තෘන්ගේ හා පඩිවරුන්ගේ කියමන් උපයෝගී කරගන්නා ලදී. නමුත් පසු කාලීනව මෙම හිඩස පිරවීමට මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරිපත් වූ විශ්ලේෂණාත්මක ලියවිල්ලක් යොදා ගැනුණි. පසු කාලීනව මෙය තීරු ලේඛනයක් හෙවත් කොළමක් වශයෙන් හැඳින්වේ.

                    පුවත්පතක, සඟරාවක හෝ අනෙකුත් ප්‍රකාශනයක යම් දෙයක් හෝ සිදුවීමක් පිළිබඳ යළි මතු කිරීමක දැක්වෙන කොටස පුවත්පතේ තීරු රචනාවක් වේ. මෙය ලියනු ලබන්නේ තීරු රචකයන් විසිනි. තීරු ලිපිය පුවත්පතේ අනෙකුත් විශේෂාංග අතරින් වෙනස්වන ආකාර කීපයකි. එනම්,


ක්‍රමානුකූලව සැකසීම. 

රචකයාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් තිබීම.

 යම් මතවාදී කරුණක් පිළිබඳව ලියැවුණු අන්තර්ගතයක් සහිත වීම. 

පාඨකයා රසාලිප්ත කරන සෞන්දර්යාත්මක නිර්මාණයකි.


" පුවත්පතක පාඨකත්වය දුර්වලව පහත බහින විට තීරු ලිපිය යනු පාඨකත්වය රඳවා තබා ගැනීමට උපකාරී වන සාධකයකි."                 

                              - ඩෙව් බැරී - 

" පුවත්පතක යම් මතවාදයක් සහිතව නිර්මාණය වන මෙම කුඩා තීරුව නැවත නැවතත් කියවා රස විඳිය හැකි කලා මාධ්‍යයකි "

                                - වෝල්ටර් ක්‍රොන්කයිට් -


පුවත්පතේ පළවන තීරු ලිපිය ප්‍රධාන ප්‍රවේශ දෙකකින් සමන්විත වේ.

 01.ආකෘතිය 

 02.අන්තර්ගතය   


◘ විවිධ විෂය පඨයක් යටතේ රචනා වීම 

◘ සීමිත වචන සංඛ්‍යාවක් තිබීම 

◘ අන්වර්ථ නාමයකින් රචකයා පෙනී සිටීම යනාදිය තීරු ලිපියේ ආකෘතික ලක්ෂණ වේ.ඉහත දැක්වූ ආකෘතික ලක්ෂණ සෑම තීරු ලිපියක් වෙතින්ම දක්නට ලැබේ. ඒවා පොදු ලක්ෂණ වේ.


තීරුලිපි භාෂාවේ නිර්මාණශීලීත්වය හා විශේෂතා.


තීරු ලිපි භාෂාවේ නිර්මාණශීලීත්වය හා විශේෂතා පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී තීරු ලිපියේ අන්තර්ගතය අතිශයින් වැදගත් වේ. තීරු ලිපිය සඳහා කුමන ආකෘතියක් හා ශෛලියක් භාවිත කළ ද එහි අන්තර්ගතය ගොඩනැගෙන්නේ භාෂාව මාධ්‍යය කරගනිමිනි. භාෂාව මිනිසා විශිෂ්ටත්වයට පත් කරවන සුවිශේෂී මාධ්‍යයකි. එහෙයින් ඉහත කියමන පුවත්පතේ සුවිශේෂී ලේඛන ආකෘතියක් වන තීරු ලිපිය සම්බන්ධයෙන්ද වැදගත් වේ. ඒ අනුව අදහස් කියා පෑමට හැකිවන පරිදි භාෂාව ප්‍රබල හා සංවේදීව භාවිතා කිරීමේ වගකීම තීරු ලිපි රචකයාට පැවරේ. නිර්මාණශීලී තීරු ලිපියක් රචනා කිරීමේදී තීරු රචකයා විවිධ පිළිවෙත් අනුගමනය කරයි. මෙහිදී රචකයා තම අත්දැකීම කියාපෑමට උචිත ප්‍රවේශයක් හා ආඛ්‍යානයක් තෝරාගත යුතුය. ඊට සරිලන පරිදි භාෂාව ගොඩනැංවිය යුතුය. එහිදී තීරු රචකයන් විසින් උපයෝගී කරගනු ලබන භාෂා රටාවන් පහත ගුණාංගයන්ගෙන් සුවිශේෂී විය යුතුය. 


〄 ජනවහර උපයෝගී කර ගැනීම.

 〄 භාෂා රටාවන් කිහිපයකින් යුතු මිශ්‍ර භාෂා ශෛලීන් භාවිතා කිරීම.

 〄 නව උපමා, රූපක, පිරුළු ඇතුළත්ව භාෂා රටාවන් අනුගමනය කිරීම.

 〄 ගැඹුරු අරුත් දනවන භාෂා උපක්‍රම භාවිත කිරීම.

 〄 පාඨක හැඟීම් ඇවිස්සෙන සුළු සරල භාෂා රටාවක්. වක්‍රෝත්තිය, ව්‍යංගය අර්ථ, උත්ප්‍රාසය මුසු භාෂා රටාවක්

〄 පෙර'පර දෙදිග සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාෂය සහිත භාෂා රිතීන් උපයෝගී කර ගැනීම.

〄 උපහාසය මුසු භාෂා රීතින්. නූතන ජන සමාජය ආශ්‍රයෙන් හඳුනාගත් වචන, යෙදුම්, පද පෙරළි 

දාර්ශනික හැඟීම් කුළුගැන්වෙන භාෂා රටාවන් උපයෝගී කර ගැනීම.


නිර්මාණශීලී තීරු රචකයා නිරතුරුවම අලුත් වන පිරිපුන් වාග් කෝෂයකට උරුමකම් කියනු ලබයි. ඔහු විසින් සරල, කෙටි, සංකීර්ණ වාක්‍ය රටා භාවිතයට ගනී. යොදා ගන්නා යෙදුම්, වචන වාක්‍ය සමහර විපරිණාමයට අනුරූපව වෙනස් වේ. තීරු ලිපියක් යනු සර්වකාලීන ලියවිල්ලකි.


" මිනිසා සොබා දහමෙහි පාලකයා නොව, සොබා දහමෙහි කොටස්කරුකි යන සර්වකාලීන වටිනාකමක් ඇති...." 

මනස් සිතුවම

සියැටෙල් හා රැචල් කාසන් 


තීරු රචකයා සංවර්ධනය, පරිසරය සමබරතාවය හා තිරසාරත්වය කියාපෑමට සරල භාෂාවක් උපයෝගී කරගෙන ඇත. ඔහු විසින් පාඨකයා තුළ ගැඹුරු ජීවන අවබෝධයක් ඇති විය හැකි පරිදි බස හසුරුවනු ලැබේ. කරුණු පැහැදිලි කිරීම පිණිස ඔහු උපයෝගී කරගන්නා වාක්‍ය  අතර මනා සම්බන්ධතාවයක් දක්නට ලැබේ. ඔහු තීරු රචනයේදී තම අභිමතයට හැකිවන පරිදි කිසිදු යෙදුමක් යොදා නොගනියි. ඒ අනුව මනස් සිතුවම නිර්මාණශීලී අංග ලක්ෂණයන්ගේ පෝෂණය වූවක් වශයෙන් දැක්විය හැකිය.


" හිමිදිරියේ වධ කඳවුරකට යන්නාක් මෙන් පාසැලට යන අයුරුද පස්වරුවෙහි රෝගිනියක පැමිණෙන්නාක් මෙන් නිවසට පැමිණෙන අයුරු ද ...." 


තිඹිරියාගම බණ්ඩාර මනස් සිතුවම්හී "ජීවිතය" නමැති තීරු රචනයේ "වධ කඳවුර" උපශීර්ෂය.


මූලාශ්‍ර කිහිපයකින් තම තීරු රචනය පෝෂණය කිරීම තිඹිරියාගම බණ්ඩාරයනට අනන්‍ය වූ ලක්ෂණයකි. ඒ අනුව මනස් සිතුවම් ශාස්ත්‍රීය මුහුණුවරක ගත් තීරු රචනාවක් බව නූතන සමාජය විශ්ලේෂණය කර දක්වයි.

                        නූතන තීරු රචනා අතර සුන්දර නිහතමානිද මැල්ගේ "මානිගේ තීරුව" නිර්මාණශීලීත්වයෙන් අනූන රචනාවකි. මෙය මානිගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවේ. මානිගේ බිරිඳ,පුතා, හිත මිතුරන් මෙහි චරිත නිරූපණය කරයි. මෙම ලිපියේ කතා වින්‍යාසය, සංවාද, නාට්‍යමය සාකච්ඡා, අවස්ථා ප්‍රශ්නෝත්තර හා ලිපි ආධාරයෙන් ගොඩනැගී ඇත.


"ඔන්න පුතාව ඉස්කෝලෙට දාන්න ඕන ලිය කියවිලි ඔක්කොම හරි."

"ඔක්කොම හරි කිව්වට කෝ මෙතන බලු සහතිකේ නැහැනේ"  


ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට උත්සාහ දරන මව්පිය යුවළකගේ සංවාදය ඇසුරින් ඉහත ලිපිය ගොඩනැගේ. නොයෙක් කූට උපක්‍රම යොදා ගනිමින් තම දරුවා ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කෙරෙන දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් මෙහිදී උපහාසයට ලක් කෙරේ. මෙම උපහාසය වෙතින් ගැඹුරු ජීවිතාවබෝධයක් පාඨකයාට ලැබේ. ඔහු මේ සඳහා සරල, කෙටි වාක්‍ය  භාවිතයට ගනී. උපමා, උපමේය පාඨකයාට සමීපය. ජනශ්‍රැතියෙන් ඔහුගේ බස පොහොසත්ය. එම නිසා මානිගේ තීරු ලිපි භාෂාව නිර්මාණශීලීය.

ජයනන්ද වර්ණවීර නම් ක්‍රීඩකයා එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් මානී වගකිවයුතු ක්‍රිකට් බලධාරියෙකු  සමඟ සාකච්ඡාවක් පැවැත්විය. ඒ අයුරින් මෙම තීරුලිපිය රචනා වී ඇත.


" ප්‍රශ්නය :-  වර්ණ වීර එංගලන්තයට යවපු කණ්ඩායමට තෝරා නොගත්තේ ඇය? 

පිළිතුර :-  අපි එහෙට යැව්වේ සමබර කණ්ඩායමක්. මිනිහා යැව්වා නම් ඒ සමබරතාවය නැති වෙනවා.

ප්‍රශ්නය :- ඒ කියන්නේ එයාගේ පන්දු යැවීම අනික් අයගේ පන්දු යැවීමට වඩා හුඟක් දුර්වලද?

පිළිතුර :- නෑ.... නෑ..... එයාගේ පන්දු යැවීම අනෙක් අයගේ පන්දු යැවීමට වැඩිය හුඟක්ම හොඳයි. ඒ නිසයි සමබරකම නැතිවෙන්නේ." 


මෙම සිදුවීම මානී විසින් ප්‍රශ්නෝත්තර ශෛලිය උපයෝගී කොට ගනිමින් විවේචනය කරනු ලබයි. සංවාදයේ නාට්‍යෝචිත බව, සංවාදශීලි බස් වහර, සංකීර්ණ ප්‍රස්තුතයක් සරලව නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමත් දැකිය හැකිය.


" ආදරණීය සීයේ, 

          මෙච්චර කාලෙකට සීයට ලියුමක්ද නොලිව්වෙ සීයව අපිට අමතක වෙලා ගිහින් නිසා නෙමෙයි...."


ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම නිමිතිකොට  ගෙන මානී විසින් ජේ .ආර් ජයවර්ධනයට ලිපියක් ලිවීම. මානිගේ තීරුවේ තවත් විශේෂයක් වන්නේ ව්‍යංගයාර්ථය මුසු බස් වහරකි.ඒ නිසා මානිට  ඕනෑම අයෙක්ගේ ක්‍රියා කලාපය සියුම්ව විවේචනය කළ හැකිය.


චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ "වගතුග" තීරු ලිපිය විශාල පිරිසකගේ පැසසුමට හේතු විය.එයට හේතු වූයේ තීරු රචකයෙකු සමාජ විවේචනයට එහා ගිය දාර්ශනික ප්‍රවේශයකින් සමාජය විශ්ලේෂණය කිරීමයි. එහෙයින් මෙය හරවත් ලියවිල්ලකි.

වගතුගේ බස :- කාව්‍යාත්මකය බස රසවත්ය ව්‍යක්ත බස යොදා ගනී.

" වර්ෂය 

වර්ෂය යන වචනය අප අද යොදාගන්නේ අවුරුදු කාලසීමාව හැඳින්වීමටය. වාර්ෂා යනු වැස්ස හැඳින්වීමට යොදා ගනී..." 


" විශ්වමිත්‍ර" නමැති  අන්වර්ථ නාමයෙන් කමල් පෙරේරා විසින් රචිත " වෙතටයි" තීරුලිපිය සාමාන්‍ය ලියවිල්ලක මුහුණුවරක් ගනී.විවේචනය කළ යුතු දේ විවේචනය කිරීමත්  පැසසිය යුතු දේ පැසසීමත් විශ්ව මිත්‍රගේ ලක්ෂණයකි.


උදාහරණ :- " ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක අර්ජුන් රණතුංග වෙතටයි."

                   " විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් වෙතටයි."


 විශ්ව මිත්‍රගේ වෙතටයි ලිපිය සොඳුරු ආඥාවක ස්වරූපය ගත් නිර්මාණශීලි ලියවිල්ලකි. තීරුලිපි සඳහා සරල ශෛලියත්, නිරවුල් බස් වහරත් යොදාගෙන ඇත.


නිර්මාණශීලී ලේඛනයක් බිහිවන්නේ පුළුල් සමාජ ආභාෂයෙනි. එනම් සමාජ සම්ප්‍රදායෙන් මෙන්ම භාෂා සම්ප්‍රදායෙන් පෝෂණය ලැබීමෙනි. විවිධ යුගයන්හි සමාජ, ආර්ථික, දේශපාලන සන්දර්භ කේන්ද්‍ර කරගෙන ලියැවෙන තීරු රචනා නිර්මාණශීලීත්වයෙන් අනූනය. එනම් ව්‍යංගයාර්ථය, උපමා, රූපක භාවිතා කිරීමෙනි. ජනවහර මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරින් පෝෂණය වූ තීරු රචනා නිර්මාණශීලීත්වයෙන් අනූන ලක්ෂණ ප්‍රකට කරනු ලබයි.






වරිග සභාව

                    සමාජයක පැවැත්මට අදාලව පවතින පද්ධතියක් ලෙස වරිග සභාව හඳුනාගත හැකිය. එය ලිඛිතව සටහන් කරන ලද නීතියක් හෝ ආඥාවක් නොවන අතර පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එනු ලබන සම්මතයකි. සමාජ සංස්ථාව ආරක්ෂා කර ගැනීමට පැවති ක්‍රම අතරින් වරිග සභාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

නෑදෑකම් ඇති කරගැනීමේ අරමුණින් පමණක්ම නොව සියලු සමාජ පැවතුම්වල තීන්දු තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ වරිග සභාව මඟිනි. ඇතැම් විට වරිග සභාව ප්‍රාථමික අධිකරණ මණ්ඩලයක් ද වේ.


" වරිගයේ සාමාජිකයින්ගේ යහපත උදෙසා ජන සම්මුතියෙන් පිහිටුවාගත් සභාව වරිග සභාව වේ."

                                                                                        - දළු පොත පිටුව 10 - 


එනම් වරිග සභාව යනු එකම වරිගයේ ඇත්තන් එකට එකතු වී එම වරිගයේ පැවැත්ම උදෙසා සාමූහිකව සාකච්ඡා මාර්ගයෙන් තීරණ ගන්නා වූ සභාවකි. වරිග සභාවක් පිහිටුවා ගැනීමට නම් එකම වරිගයක් නියෝජනය කරනු ලබන අය එනම් ගොවිතැන් කිරීමෙන් ජීවත් වන පුද්ගලයන් පමණක් ගමේ වාසය කළ යුතුවේ. වරිග සභාවට රැස්විය හැක්කේ,විවාහක පිරිමින් හා වැන්දඹු කාන්තාවන්ටය.නමුත් තරුණයන්ට,කාන්තාවන්ට හා ළමයින්ට අවසර නැත.  

                         ජන සම්මතයට අනුව වරිග සභාව රැස් කරනුයේ පොදු දිනක ය.  පොදු දිනය යනු තොවිල් පහට රැස්වීමට හැකි දිනයකි. තොවිල් පහ වනුයේ, 

  

 💢නායක හාමුදුරුවෝ 

💢වෙද මහතා 

💢ගමරාළ හෙවත් විධානේ

 💢මහ හේනේ මාමා 

💢වින්නඹු අම්මා 


වරිග සභාව රැස්කිරීමේ වගකීම පැවරී ඇත්තේ මහා ගමරාල වෙතය. එහි තීන්දු තීරණ ගනු ලබන්නේ මහා හේනේ මාමාය.


වරිග සභාවේ විනිශ්චය කරනු ලබන කුල නඩු සම්බන්ධ නීති දාසයකි. එයින් කිහිපයක් ලෙස,


• වරිගයෙන් පිට විවාහය 

• කුලයට නුසුදුසු දෙයක් කිරීම 

• සැමියා මියගිය විටදී වෙනත් පුරුෂයෙකු හා රහසේ බැඳී ගැබිණියක වීම

 • හේතුවක් නොමැතිව යමෙකුට බැණ වැදීම 

• නැන්දාගේ දුව හැර වෙනත් ඥාති තරුණියක් හා එක්වීම.


මෙම නීතිවලට අදාළව පවතින දඬුවම් වන්නේ රිදී කාසි ගෙවීමයි. මෙම නීති වර්තමාන සමාජයට නොගැළපුනද එදා ග්‍රාමීය සමාජය තුළ පැවැති කුල ක්‍රමය සමග පදනම්ව පැවැති සමාජය පවත්වාගෙන යාමට ඉන් සහයෝගයක් ලැබුණු බව සමාජ විද්‍යාඥයින් පවසයි.

                        මේ ආකාරයට දඩ මුදල් ගෙවිය නොහැකි වුවහොත් ඒ සඳහා දඬුවම් පවතී. එනම් අදාළ පුද්ගලයාගේ නිවසේ කඩුල්ල හරහා කටු  සහිත කුඩුමිරිස අත්තක් හරහට තබා  තහංචි පේ කරනු ලබයි.එහිදී,


✦ගෙදරට අඟහිඟ ඉල්ලීම 

 ✦ලිප ගිනි ඉල්ලීම 

✦ගම සමග සම්බන්ධතා පැවැත්වීම 

✦පොදු ලිඳ හෝ නාන දියමංකඩ තහංචි කරනු ලැබේ.


මෙයට අමතරව,


💥යම් අයෙක් මරණයට තැත් කිරීම හෝ මැරීම 

💥තරුණ ගැහැණු ළමයින්ට කරදර කිරීම 

💥ගැබ්බර සතුන් දිගින් දිගටම දඩයම් කිරීම බලහත්කාරයෙන්  අන්සතු අඹුවන් පාවා ගැනීම 

💥සංහිඳ,දේවාල, කමත් විනාශ කිරීම 

💥පන්සලේ හාමුදුරුවන්ට හා දේපළවලට හානි කිරීම.


කරනු ලබන අයට තොවිල් පහ තහනම් කරනු ලැබේ. මෙහිදී විශේෂයෙන් දැක්විය යුතු වන්නේ අත්පා කැපීම, කසපහර දීම වැනි පැරණි රජ දවස පවත්වාගෙන ගිය දඬුවම් ක්‍රම වරිග සභාවෙන් පමුණුවන්නේ නැත. නමුත් යම් අයෙකුට අත්පා කපා දමනවාට වඩා තොවිල් පහ තහනම් කිරීම බරපතල දඬුවමක් ලෙස සලකනු ලැබේ.



Tuesday, February 13, 2024

නිර්මාණාත්මක සන්නිවේදන කාර්යයේදී ජනශ්‍රැති භාවිතය .

                     



කාලාන්තරයක් තිස්සේ මානව ජන සමාජය තුළ මූලික වශයෙන් කටවහර ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය කරන ලද මානව ජන සමාජ ආශ්‍රිත නොයෙකුත්  පබැඳුම් ජනශ්‍රැතිය තුළ අඩංගු වේ. ජනශ්‍රැතිය යන පදය ඉංග්‍රීසි ශාස්ත්‍රීය ලෝකය තුළ Folk- Lore නමින් මුලින්ම ව්‍යවහාර වූයේ  1946 ලන්ඩන් ශාස්ත්‍රිය සංග්‍රහයක් වන ඇතීනියම් හිදීය.

     ජනශ්‍රැති, ජන කලා,ජන කවි, ජන ගීත, ජන විශ්වාස ,ඇදහිලි අභිචාර විධි, චාරිත්‍ර වාරිත්‍ර, තේරෙවිලි, උපමා, ප්‍රස්ථාව පිරුළු, අධිවිශ්වාස, ජන වෙදකම, කෙම් ක්‍රම, ජන සංගීතය, ජන ක්‍රීඩා, ජන උත්සව, වෘක්ෂ ශ්‍රැති ,සත්ව ශ්‍රැති, යාතුකර්ම,විශ්වාස ඇතුළු පාරම්පරික දැනුමේ සමස්තයෙන් මේ ජන උරුමය සෑදී තිබේ. මෙලෙසින් ජනශ්‍රැති   පාරම්පරික ඥාන සම්භාරයක් ලෙස හැඳින්විය හැකිය.


"ජනශ්‍රැතිය වනාහී මිනිසාගේ සාමූහික චින්තන නියෝජිතය යි "

                                                                - ලුවී බුදල් - 

"කුඩා කණ්ඩායම් ආශ්‍රිතව පැන නගින කලාත්මක සන්නිවේදනය ජනශ්‍රැතියයි".

                                                            - ඩෑන් බෙන්, අමෝස් 1972 -


ජනශ්‍රැතිවල විශ්වසනීයත්වය ගොඩනැගෙන්නේ ඒවා ඉතිහාසය හා ආගම  සමග බද්ධ වීම හේතුවෙනි. එසේම කෘෂිකර්මාන්තය ඇතුළු ජීවන ක්‍රම හා මානව විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය හා ක්‍රියාකාරකම් රාශියක් සමඟ ජනශ්‍රැතිය බැඳී තිබේ.


ජනශ්‍රැතියේ බිහිවීම හා ලක්ෂණ 

බිහිවීම : 

✷ජන සමාජයක විනෝදාස්වාදය මුල් කරගනිමින් බිහිවීම අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් ලෙස පරම්පරාගත ඥානය පවත්වාගෙන යාම සඳහා බිහිවීම

 ✷ප්‍රාථමික මිනිසා තුළ පැවති කුතුහලය මත පදනම්ව බිහි වූ ජන ආගම් විශ්වාස හා ඇදහිලි හේතුවෙන් බිහිවීම 


ලක්ෂණ : 

✷ඉතා සරල භාෂාවක් භාවිත කිරීම 

✷භාෂාව කට වහරට ඉතා සමීප වීම 

✷මනංකල්පිත හා අතිශයෝක්තිය බහුල වීම 


නිර්මාණාත්මක සන්නිවේදන කාර්යයේදී ජනශ්‍රැතිය භාවිත කිරීමට හේතු ,

✷ජනශ්‍රැතියේ හා ජන කලා ජනයාගේ අත්දැකීම් පසුතලයට සමීපව ගොඩනැගී ඇති බැවින් නිර්මාණයේදී ඒ අත්දැකීම් භාවිත කිරීමට  හැකිවීම ඵලදායි සන්නිවේදනයකට  හේතුවේ.

✷ජනශ්‍රැති  හා ජනකලා ඇසුරු කිරීම මගින් කෙරෙන නිර්මාණ ඔස්සේ තමාට හා තම ජන කණ්ඩායමේ විඤ්ඤාණයට සමීප යන හැඟීමක් ජනනය කළ හැකිය. එය ග්‍රාහක ආකර්ෂණය වර්ධනය වීමට හේතු වේ.

✷ජනශ්‍රැති  හා ජනකලාවල භාවිත වන සංකේත ඉදිරිපත් කරන සමාජ අවස්ථා පහසුවෙන් අවබෝධ කර ගැනීමට ඇති අවකාශ නිසා එමඟින් ඉදිරිපත් කරන සංකේත ග්‍රාහකයාට ග්‍රහණය කර ගැනීමට හැකි වේ. මේ නිසා ඒ නිර්මාණ කෙරෙහි ගොඩනැගෙන විශ්වසනීයත්වය ප්‍රබලය.

✸ජන කතාවක හා ජන කලාවක අංග අධ්‍යයනය කොට වේදිකා නාට්‍යයක, වීදි නාට්‍යයක ,විවිධ සංවාද අවස්ථාවල යොදා ගනිමින් සමාජයට ගැලපෙන සංවර්ධන සංදේශ වඩාත් ප්‍රබල ලෙස ජනගත කළ හැකිය.


ජනශ්‍රැතිය  බොහෝවිට ආගමික හෝ අභිචාරමය සබඳතාවයක් දක්වන ප්‍රකාශන ලෙස හඳුනාගත හැකිය.

නිදසුන් : උඩරට සොකරිය ජන නාටකයක් ලෙසත් අනෙක් අතින් තෙරුවන් හා පත්තිනි දෙවියන් ඇතුළුව දෙවියන් විෂයෙහි බලපැවැත්වෙන ප්‍රකාශන කිහිපයකි.


මෙහි ප්‍රබල මනෝවිද්‍යාත්මක පැතිකඩක් සහිත බව කාල් ජුන්ග් මනෝවිද්‍යාඥයා පෙන්වා දෙයි.

නිදසුන් : උඩරට බලිය හෝ පහතරට ශාන්ති කර්ම ගත් විට එහි ගායන ශෛලිය, වාදන ශෛලිය, අලංකාර හැඩතල, වර්ණ සංයෝජනයන් මගින් අභිප්‍රේතවත් කරන ප්‍රපංචය කෙරෙහි මනෝ විද්‍යාත්මක ගවේෂණයක් ලෙස සාම්ප්‍රදායික ජන සමාජයෙහි භාවිතයකි.


පහතරට රිද්‍දියාගය ශාන්ති කර්මය : 

සාම්ප්‍රදායික ජන සමාජයෙන් ලිංගිකත්වය පිළිබඳ පැවති දෘෂ්ටිය හා එම විෂයෙහිලා ගැමි ජන සම්බන්ධතා උපදේශන ක්‍රමයක් ලෙස පවුල් ආශ්‍රිත සම්භෝගය විද්‍යාත්මක ආකාරයෙන් කියා දීමක් රිද්දි යාගයෙන් සිදුවේ.

වද කාන්තාව, ගර්භනී කාන්තාව, දරුවකු ලද මාතාව, ලැබුණු දරුවා යන අරමුණු තුනම පෙරදැරි කරගෙන එමඟින් ඉදිරිපත් කරන ප්‍රකාශනය තුළ ප්‍රබල ලිංගික ඉදිරිපත් කිරීම කරනුයේ බාල, මහළු ,වැඩිහිටි ,පූජක ආදී සියලු සමාජ කොටස්වලටම එකට හිඳ බැලීමට හැකිවන පරිදි නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමෙනි.

ක්‍රමයෙන් ලිංගික ආකර්ෂණය වැඩි කරමින් මධ්‍යම රාත්‍රිය කරා එළඹෙන්නේ පිරිමි යක් දෙස්සෙකු විසින් කාන්තාවක ලෙස සමාරෝපණයව ස්ත්‍රියක් දියනාන ආකාරය, වරලස මුදා හැර එය සකස් කරන ආකාරය වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් නානුමුරය අවස්ථාව තුළ නිරූපණය කිරීමෙනි. අනතුරුව යක්දෙස්සන් දෙදෙනෙකු විසින් බිම පැදුරක නිදා දෙදෙනා එකිනෙකට මුහුණලා සමීපව මෝල් ගසක් ගෙන දක්වන සංකේතාර්ථවත් රංගනය ඔස්සේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය සිදුකරන කායික පිහිටීම මැනවින් ප්‍රාථමික ගැමි සමාජයට කියාපානු ලබන අධ්‍යයන ක්‍රමයක් ලෙසත් මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමයක් ලෙසත් මෙය හඳුනාගත හැකිය.


ජනා ශෘතිය පාදක කර ගනිමින් බිහි වූ ගීත,සිංදු, වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය, සිනමා ,වෙළඳ දැන්වීම් දැකගත හැකිය.


ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහිවූ ගීත,


රෝහණ බැද්දගේ මහතා ගායනා කරන,

" සකිය සගව්වට රෝදය කැරකෙනවා...."    

" කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ ...."


බන්දුල විජේවීරයන් "හුලවාලී "

චිත්‍රපටයේ ගායනා කරන,

  " කුලගෙදරින් දුම්බර කඳු වැටියේ

 කැන්දන් එනවා දුම්බර මැණිකේ ...." 


මල්සරා බැල්ම හෙලා ගීතය 

" මල්සාරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා.. 

රන්මලී දැක්ක ගමන් මල් මල්වාරම් කිය වෙනවා ..

හිත බැන්ද සෙනේ මන් පවසන්නම්ද කොයි ලෙසින් රන්මලී ......" 

මේ සඳහා යොදාගෙන තිබෙන ජනශ්‍රැතිකාංග වන්නේ,

🟒අත් රබන් ශාන්ති කර්මයේ එන තොවිල් කවි 

🟒කවි නාඩගම් 

🟒මල්වාරම් ගී විරිත

 🟒සබරගමු නර්තන සම්ප්‍රදායේ තිසරා වන්නමේ නාදමාලාව.


" කැලේ හැදෙන කිරි මදු වැල් කපල්ලා 

දොළේ ගලන සීතල දිය බීපල්ලා 

යලේ කන්න ගොඩදාලා දීපල්ලා 

අඹරුවනේ රට රැකුනේ තොපි හින්දා  ..."


අමල් බිසෝ කතාව ( කොකයි කෙකිනිගෙයි කතාව) පාදක  කරගනිමින් බණ්ඩාර ඇහැලිය ගොඩ දොර නාරින් අමල් බිසෝ ගීතය නිර්මාණය කිරීම .

" මගේ අමල් බිසෝ දොර අරින් නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන්  වෙසේ නුඹ මුදු කරේ තනියෙන් ...." 


ජනශ්‍රැති ආශ්‍රයෙන් රන්වල බලකාය ගීත නිර්මාණය කිරීම,

" අද ඉපදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..."

" සෝබනී "

"සඳ සාවී මා ... "    



ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහි වූ වේදිකා නාට්‍ය , 


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ "මනමේ" නාට්‍යය :- චුල්ල ධනුග්ග ජාතකය

දේශීය කෝලම් 

කවි / නාඩගම්හි ආභාසය ලබා ඇත.


ජාලිය රාජපක්ෂ විසින් රචිත "සොකරි"  සඳහා බහුලව යොදා ඇත්තේ ජනශ්‍රැතිකාංගයි එහිදී,

🟒සොකරිව සොයා ගැනීම සඳහා ගුරුහාමී කතරගම දෙවියන්ට බාර වීම .

🟒කතරගම දෙවියන් සොකරි සිටින තැන පෙන්වීම 

🟒ගුරු හාමි සොකරිව ගෙදරට කැන්දන් යාම.(එයින් පෙනෙන්නේ ජනයා දෙවියන් කෙරෙහි පවතින ඇදහිලි විශ්වාසයන්ය)

 🟒ගුරු හාමිගේ සේවකයා පරයා හෙවත් පච්චමීර වෙස් මුහුණක් පැළඳ රංගනයේ යෙදේ.( පාරම්පරිකව පැවත ආ වෙස් මුහුණු මේ තුළින් නිරූපණය වේ) 

🟒ගැමි වාද්‍ය භාණ්ඩ ලෙස ගැටබෙරය, තාලම්පට, හොරණෑව යොදාගෙන ඇත.


ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහි වූ චිත්‍රපට, 


ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ලාංකීය ඉතිහාසයේ ප්‍රථම චිත්‍රපටිය වන " රේඛාව " තුළද ජනශ්‍රැතියේ ප්‍රමුඛ සාධක වන ඇදහිලි, විශ්වාස ආදිය මනාව පිළිබිඹු වේ.    


මෙහි ප්‍රධානතම සිද්ධිය නම් "දේව වරමකින් සත්කාර කිරීමේ වරම ලබාගන්නා ළමයාට යකෙක් වැහී ඇතැයි ගම්මුන් ඔහුට කරන අමානුෂික වද හිංසනයයි. එමෙන්ම කවදාවත් නැති නියඟයක් ගමට එයි. එයද කොලුවාගේ යක්ෂ බැල්ම නිසා යැයි සැක කරන ගැමියෝ ඔහුට වද හිංසා දෙති."  


මෙවැනි කරුණු තුළින් ගම්‍ය වනුයේ ජනයාගේ ඇදහිලි විශ්වාසයන් හා අද්භූත සිදුවීම් මනාව එහි කෙටි කොට තිබෙන ආකාරයයි.


බැද්දේගම චිත්‍රපටය, 

" පුංචි රාළ වෙදාගේ උසිගැන්වීමෙන් මුවා යක්ෂ අවතාරයක් යැයි සිතා හිමිහාමි මරා දමන ලදී."

"මතක තියාගනින් මේ ගස්වලත් යක්කු නටන වග." 

මෙහිදී ජනශ්‍රැති  තුළ අන්තර්ගත වන අමනුෂ්‍ය දෝෂ අදෘශ්‍යමාන බලවේගයන් චිත්‍රපටය තුල යොදාගෙන තිබෙන ආකාරය  මනාව පැහැදිලිවේ.


වලගම්බා පුවත ආශ්‍රයෙන් බිහි වූ චත්‍ර වීරමන්ගේ  "ආලෝකෝ උදපාදි "චිත්‍රපටය.


මීට අමතරව, ඝරසර්ප, සිරිපැරකුම්, අබා,කදිර දිව්‍යරාජ, සූරිය අරණ, පත්තිනි, කතුරු මිතුරු,මහින්දාගමනය, සිරි දළදාගමනය,මහරජ අජාසත් යනාදි චිත්‍රපට බිහිවීම.


ජනශ්‍රැති ආශ්‍රයෙන් බිහි වූ ටෙලි නාට්‍ය, 


ගැල් සාත්තුවා, කළුවර ගෙදර, රිදී ඉට්ටම්කරය, ඉසිවර අසපුව,මනෝකාය ,ගජමන් නෝනා, එකට ගැටුම, දෙරණ,  බෝගල සවුන්දිරිස්, ඉසුරු යෝගය, විශ්මය, අසිනි වැසි.


ජනශ්‍රැති ආශ්‍රයෙන් බිහි වූ වෙළඳ දැන්වීම්, 


🟒සංකුයික් වෙළෙඳ දැන්වීම ( තෑගි දෙන සාස්තරේ ) 

🟒ගමේ ආරච්චි චරිතය යොදාගෙන සිංහ සිමෙන්ති වෙළෙඳ දැන්වීම නිර්මාණය කිරීම.

🟒Dialog වෙළඳ දැන්වීම - "ඇවිල්ලා ඇවිල්ලා පුතා ඇවිල්ලා ..."  (මහ ගෙදර සංකල්පය ,පිත්තල පහන්, කැවුම්, බුලත්, කමත, පන්සල, අවුරුදු උත්සවය යනාදී පිළිබිඹු වීම)  

🟒ලංකාබෙල් වෙළෙඳ දැන්වීම  

🟒සුපිරිවිකි වෙළඳ දැන්වීම (  පින්තාලිය ආශ්‍රයෙන් සැකසී තිබීම) 

🟒Caltex වෙළෙඳ දැන්වීම .


මේ කරුණු ඔස්සේ බලන විට ආයතනයක් තම නිෂ්පාදිත  භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරලීම සඳහාද පුද්ගලයන් තමාගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහාද ජන මනසට ආමන්ත්‍රණය කරලීමේ පහසු ක්‍රියාමාර්ගයක් ලෙස ජනශ්‍රැතිකාංග භාවිතා කරමින් මෙවැනි වූ නිර්මාණයන් සිදුකරන ආකාරය දැකගත හැකිය.

Monday, February 12, 2024

බුදුදහම හා පරිසරය.




ප්‍රායෝගික ජීවිතයේ මිනිසාට මෙන්ම සත්ත්වයාටද වැදගත් සාධකයක් වනුයේ පරිසරයයි. වාතය, ජලය, ගහකොළ යනාදීන් තුළින් සියලුම සත්වයන් පෝෂණය වන අතර එයින් තොරව කිසිදු සත්ත්වයෙකුට ජීවයක් පවත්වා ගැනීමට සිතීමට පවා අසීරුය.පරිසරය යන්නෙන් ගම්‍ය වනුයේ වායු ගෝලය ජලගෝලය, භූගෝලය, වෘක්ෂලතා හා ජීව යනාදී ගෝල පහක එකතුවකි.පරිසරයේ සෞන්දර්ය භාවය හා එහි වැදගත්කම මුල් වාරයට මුළු ලෝකයටම ප්‍රකාශ කරන ලද්දේ බුදුරජාණන්  වහන්සේය. එනම් උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවන් පරිසරය හා සමග බද්ධ වීමෙනි.


උපත -  ලුම්බිණි සල් උයන 

බුදුබව අත්වීම - ඇසතු බෝ  රුකමුල 

අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීම 

බරණැස ඉසිපතන මිගදායේ ප්‍රථම දහම් දෙසුම 

කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් උයනේ පිරිනිවන් පෑම .


ගසක් යට ඉපිද, ගසක් යට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව, ගසක් යට දී පිරිනිවන් පෑ උන්වහන්සේ තුරුලිය, වනපෙත් ,ඇළ දොළ ,සතුන්, ගංගා, මහ මුහුද ,වැස්ස, සුළඟ ආදී පාරිසරික අංග මැනවින් වටහාගෙන ක්‍රියා කළහ. එසේම එහි පැවැත්ම සුරක්ෂිත භාවය අරභයා ප්‍රායෝගිකව මඟ පෙන්වූ සේක." සබ්බේ සත්ථා - භවන්තු සුඛිතත්තා" යනුවෙන් වදාළ උන්වහන්සේ සමස්ත සත්ත්ව වර්ගයාගේ සිත සුව පිණිස පතන්නෙ පරිසරය සියලුම සත්ත්වයන්ට සුරක්ෂිත ස්ථානයක් බව තහවුරු කරනු පිණිසය.

               ලෝකයේ විසූ ස්වභාව සෞන්දර්යවාදීන් අතුරින් බුදුරජාණන් වහන්සේට  හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයයි. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනීම සඳහා උපකාරී වූයේද ස්වාභාවික පරිසරය බව අරියපරියේසන  සූත්‍රයෙන් පැහැදිලි වේ.


ද්‍රෝණ බමුණාට තමන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පරිසරයට ඉතාම  හිතකාමී පරිසරවේදියෙකු බවය.


"පුණ්ඩරීකන් යතා වග්ගු තොයේන නූපලිප්පති 

නූපලිප්තොම්හි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණෝ"


මඩ ජලයෙහි ඉපිද එහිම හැදී වැඩී ජලයෙන් ඉහලට පැමිණ ජලයෙහි ගෑවී නොගෑවී ඉන්නා නෙළුම් මලක් මෙන් කෙලෙස් ගහන මිනිසුන් අතර ඉපිද හැදී වැඩි කෙලෙස් හා නොගැටී සිටි  මම බුද්ධ වෙමි.


" රමණීයො වන භූමි භාගෝ පාසාදිකෝච වනසන්ඩෝ නදිංච සන්දති සොතකා ..."    


උන්වහන්සේ භාවනා කිරීමට තෝරා ගන්නා ලද ස්ථානය මැනවින් වැඩුණු වන ලැහැබ මැදින් ගලා බසිනා නිල් ජල ධාරාවකින් හා නදියකින් යුක්තය. තවද සුදෝ සුදු වැලිතලාවකින් ගස් වැල් වලින් සුපිපි කුසමින් යුක්ත නිසා සියල්ලන්ගේම සිත් ඇදගන්නා සුළු බව පෙන්වාදී ඇත.


ස්වාභාවික පරිසරයේ ඇති සම්පත් සාහසික ලෙස පරිභෝජනයට ගැනීම නොකළ යුතු බව උතුම්බර කාධක උපමාව ආශ්‍රයෙන් දීඝජාණු කෝලීය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.එම උපමාව වනුයේ,


" දිවුල් කෑමට අවශ්‍ය කරන පුද්ගලයා ගසට  නැඟ  අතු සොළවයි. එවිට පැසුණු ගෙඩි පමණක් නොව ගැට, මල් හා අතුද කඩා වැටෙයි. මෙයින් ප්‍රයෝජනයට ගන්නේ ඉඳුණු දිවුල් ගෙඩිය. අනෙක් සියල්ල ගස මුල දමා යයි. '


මෙවැනි ආකාරයේ පරිසර පරිහරණයන් බුදු දහම අගය නොකරයි. පරිසරයේ තිබෙන සම්පත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත යුතුය. මෙය බෞද්ධ ආකල්පයකි.

" යදා බලාකා සුචිපණ්ඩරච්ජදා

 කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා 

 පලායන්ති ආලයමාලයෙසිනී

 තදානදී අජකරණී රමේති මං" 


සසර බය නිමා කල රහතන් වහන්සේ මෙලොව පවත්නා ස්වාභාවික අලංකාරයෙන්  ආලෝකමත් වන ආකාරය මින් පැහැදිලි වේ. එනම් යම් කලෙක පිරිසිදු සුදු පියාපත් ඇති කෙකිනියෝ කළු පැහැති වළාකුළ නිසා ඇති වූ බයෙන් තැතිගෙන වාසස්ථාන සොයමින් පලාගියද එකල්හි අජකරණී නදිය මා සතුටු කරවයි. යනුවෙන් උන්වහන්සේ තේර ගාථා තුළ මෙලෙස පරිසරයේ සෞන්දර්ය පෙන්වාදී ඇත. 


" වස්සති දේවෝ යථා සුගීතං ජන්නා මෙ  කුටිකා සුඛා නිවාතා 

තස්සං විහරාමි වූපසන්තො 

අථ චෙ පත්ථයසි පවස්ස දෙව" 

                                                                           - ථේරගාථා - 


බුදුරජාණන් වහන්සේ භාවනා යෝගීව වැඩි සිටි ස්ථානයට පතිත වූ වර්ෂාව තුළින්ද දකින ලද ස්වභාව සෞන්දර්ය මේ අයුරින් වර්ණනාවට ලක් කර ඇති බව පැහැදිලිය.


බුද්ධ දේශනාව මගින් ස්වාභාවික සම්පත්ද ආරක්‍ෂා කර ගැනීම සඳහා පෙන්වා දුන් ක්‍රියාමාර්ගයන් මඟින් ද ස්වභාව සෞන්දර්ය විෂයෙහි බුදු දහම දක්වන ලද ආකල්පය කෙබඳුද යන්න පැහැදිලිය. එනම් ජීව පරිසරයෙහි ශාක වර්ග අතුරින් මුලින් පැලවෙන බීජ, කඳින් පැලවෙන බීජ, පුරුක් වලින් පැලවෙන බීජ,දල්ලෙන් පැලවෙන බීජ, ඇටවලින් පැලවෙන බීජ වශයෙන් පස්වර්ගයකි. 


" මූල බීජං,ඛන්ධ බීජං, ඵලු  බීජං,අග්ග බීජං, බීජ බීජ මෙව  පංචමං ඉතිවා ඉති එව රූපා බීජගාම ...." 

                                                                                                        - දීඝ නිකාය - 


මෙම බීජ වර්ග විනාශ නොකිරීම යහපත් පුද්ගලයකුගේ ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ  පෙන්වා දී ඇත.


නිල් තණ මත මළමුත්‍ර බැහැර කිරීම, ජලයට කුණු දැමීම, ඉඳුල් ආදිය දැමීම,කෙළ ගැසීම වරදක් බව පෙන්වාදී ඇත.


" න උදකේ උච්චාරංවා පස්සාවංවා

 ඛෙළංවා 

කාරිස්සාමිති සික්ඛා කරණියා "

                                                                           - පාචිත්තිය පාලි - 


මෙවැනි කාරණාවන් තුළින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට බුදු දහම ගන්නා ලද උත්සාහය පැහැදිලි වේ.


සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ දී දක්වන පරිදි වන උයන් ඉදිකිරීම, ඒ දඬු මංමාවත් ඉදිකිරීම, ළිං පොකුණු සකස් කිරීම සැමදා පින් වැඩෙන පින්කම් වශයෙන් පෙන්වා දී ඇත.


වායු දූෂණය නිසාද ස්වාභාවික පරිසරය අපිරිසිදුවන බැවින් එයින් මිදීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන ලදී. ගින්නෙන්, විෂවායු නිසාද, අසංවර වචන නිසාද, වායු දූෂණය වන බව දක්වයි.එනම් කේලම් කීම, බොරු කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම නිසා පිටවන වායුව තුළින් අවට පරිසරය දූෂණය වෙයි. බුදු දහමට අනුව වචනයෙන් සංවරවීම තුළින් වායු දූෂණය නැති කරගත හැකිය.


"කායේන සංවරෝ සාධූ

සාධූ වාචාය සංවරෝ...."   

                                                             - ධම්මපද පාලි - 


චක්කවත්තී සීහනාද සූත්‍රය දස සක්විති වන්හි මෙසේ සඳහන් වේ. මේ මඟින් රටේ පාලකයා තිරිසන් සතුන් එනම් පරිසරය පවා සංරක්ෂණය කළ යුතු බව පෙන්වා දිය හැකිය.


පරිසරය පිළිබඳවද සත්ත්වයන් පිළිබඳව ද ඉතා සංවේදීතාවයෙන් කටයුතු කරන්නේ නම් පාරිසරික අර්බුදවලින් තොරව මිනිසාට ජීවත් විය හැක. අප සෑම සත්ත්වයෙකුටම මෛත්‍රීය කළ යුතුය. කරණීය මෙත්ත සූත්‍රයට අනුව මවක් සිය එකම පුතු යම් සේ ජීවිතය මෙන් රකීද එසේම සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය වැඩිය යුත්තේය.

" මාථා යථා නියං පුත්තං

 ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ 

ඒවම්පි සබ්බ භූතේසු 

මානසංභාවයේ අපරිමාණං" 


ඉහත සඳහන් කරන ලද කරුණු වලට අදාළව පාරිසරික සෞන්දර්ය හා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම බුදුදහමින් මනාව පෙන්නුම් කර ඇත.

බුදුදහමින් පෝෂණය ලද ආර්ථිකය.

 


ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරයද නොයෙකුත් සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ දක්වා ඇත. අපගේ මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට නම් ධනය එනම් වතුපිටි, ඉඩකඩම්, මිලමුදල් ආදිය අවශ්‍ය වේ. මෙම ධනය ඉපදවිය යුතුතේ  සාධාරණ හා උත්සාහවන්තවයි.

දීඝජානු කෝලිය කුල පුත්‍රයා බුදුන් වහන්සේගෙන් විමසනුයේ පරලොව හා මෙලොව දියුණුව පිණිස හේතුවන කරුණුය. එහිදී මෙලොව ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු හතරක් පෙන්වා  දුන් සේක. එනම්,


 01. උට්ඨාන සම්පදා             

 02 . ආරක්‍ඛ සම්පදා 

03 . කල්‍යාණ මිත්තතා

04 සමජීවීකතා  


උට්ඨාන සම්පදා යන්නෙන් අදහස් වන්නේ උත්සාහයයි. මෙහිදී අප ධනය ඉපයීය යුත්තේ උත්සාහයෙනි, උත්සාහයෙන් ධනය උපයාගත හැකි ධාර්මික රැකියා වශයෙන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ මෙලෙස  දක්වා ඇත.


01.කෘෂි කර්මාන්තය 

02.සත්ත්ව පාලනය 

03.වෙළඳාම 

04.ගෘහ කර්මාන්තය 

05.රාජ්‍ය සේවය 


වෙළඳාම ධනය උපයන ක්‍රමයක් වුවත් නොකළ යුතු වෙළඳාම් ගැන දක්වනු ලබයි ඒවා වන්නේ, 


01.සත්ව වෙළදාම 

02.මස් මාංශ වෙළඳාම 

03.ආයුධ වෙළඳාම 

04.මත්පැන් වෙළඳාම 

05.වස විෂ වෙළඳාම  


තවද සමාජයට අහිතකර විවිධ වෙළඳාම් ක්‍රම දැකිය හැකිය.


01.තුලා කුට -  හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරාදීම.


02. මාන කූට - හොර මිනුම් ක්‍රම භාවිතා කිරීම .


03 . කංසකූට - ගුණාත්මයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම.


මුදල් ඉපයීමට කුමන හෝ වංචාකාරී ක්‍රියාවක යෙදෙන බොහෝ දෙනා අද සමාජයේ දැකිය හැකිය. ඒ අතර බැංකු කොල්ලකෑම, කඩ සාප්පු කොල්ලකෑම බහුලව සිදුවෙයි.


 පුද්ගලයෙකු වශයෙන් ධනය ඉපයිය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී උපමා දෙකක් මගින් විස්තර කෙරේ.


" භමරස්සේව ඉරීයතෝ " බඹරා මලින් මලට ගොස් මල නොතලා මල් පැණි රැස්කොට විශාල වූ වදයක් බඳින්නා සේද

 " වම්පිකෝ වූපචීයති" වේයා පස් ස්වල්පය බැගින් ගෙනැවිත් විශාල තුඹසක් බඳින්නා සේ ධනය රැස්කළ යුතුය.


අපගේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්‍ෂා කරගත යුතුවේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකිය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන් , සතුරන්ගෙන් හා රාජසන්තක වීමෙනි.බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ අප විසින් උපයන ධනය අප විසින්ම විනාශ කරගන්නා ආකාරය දක්වනු ලබයි. එනම්,


01.රහ මෙර පානය 

02.අවේලාවේ වීදි සංචාරය 

03.නිතර නිතර නෘත්‍ය  ගීත දර්ශන බැලීමට යාම 

04.සූදු කෙළිය 

05.පාපමිත්‍ර සේවනය 

06.අලසකම 


පරාභව සූත්‍රයේ දී බුදුන් වහන්සේ ධනය ඉපයීම සඳහා බලපාන හේතු තුනක් දක්වා ඇත. එනම්,


01.ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම 

02.සුරාවෙහි ලොල් වීම 

03.සූදුවෙහි ලොල් වීමයි


 ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ධනය වැනසී යන අපාය මුඛ හතරක් දක්වා ඇත. එනම්,


01. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම 

02.සුරාවෙහි ලොල් වීම 

03.සූදුවෙහි ලොල් වීම 

04.පාපමිත්‍ර සේවනයේ යෙදීම යනුවෙනි.


 ධනය මනාව පරිභෝජනය කර ගත හැකි ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ මෙලෙස දක්වා තිබේ. 

"ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය

ද්වීහි කම්මං පයෝජයේ

චතුත්ථං ච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති”

මෙයින් කියවෙන්නේ තමාට ලැබෙන ධනයෙන් හතරෙන් එකක් භුක්ති විඳීම සඳහාද හතරෙන් දෙකක් අනාගතයේ ආදායම් ලබන කර්මාන්ත සඳහා ආයෝජනයක් ලෙසද ඉතිරිය හදිසි විපතක් ඇති වූ විට ගැනීමට තැන්පත් කළ යුතු බවයි. හතරෙන් එක භුක්ති විඳීම සඳහා යොදාගන්නෙ කෙසේද ?

01.තමාගේ මෙලොව පරලොව වියදම් සඳහා 

02.තම අඹු දරුවන්ගේ මෙලොව පරලොව වියදම් සඳහා 

03.දෙමව්පියන් ඇතුළු ඥාතීන්ගේ වියදම් සඳහා 04.හිතමිතුරන්ගේ අවශ්‍යතාවයන් සඳහා

05. ශ්‍රමදාන ආදී සමාජ පොදු කාර්යයන් සඳහා ධනය වැය කළ යුතුය.

 

ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලී ප්‍රතිපත්තියක්ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්,


01.ඥාති බලි - ඥාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම.

02. අථිති බලි -  ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම.

03. පුබ්බපේතබලී -  මිය ගිය ඥාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම 

04.රාජ බලි -  රජය උදෙසා යුතුකම් ඉටු කිරීම.

05.දේවතා බලි - ආගමික කටයුතු සඳහා යුතුකම් ඉටු කිරීම.


මෙබඳු යුතුකම් ඉටුකිරීම මඟින් පුද්ගලයා සතු බලය පුද්ගලයාට පමණක් නොව සමාජයට ද ආශිර්වාදයක් වනු ඇත.

අණන සූත්‍රයේ පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයෙකු සැප හතරක් ලබා ගැනීමට වෙහෙස විය යුතු බවයි.එනම් ,


01.අත්ථි සුඛය

02. භෝග සුඛය 

03.අණන සුඛය 

04.අනවජ්ජ සුඛය 


තමා විසින් ධාර්මිකව උපයා ගන්නා ලද බෝග සම්පත් ඇතැයි යමෙකුට සතුටු විය හැකි නම් අත්ථි සුඛය යි. උපයාගත් ධනයෙන් සැප විඳිමි පින් දහම් කරමි කියා සොම්නසට පත්විය හැකිනම් එය භෝග සුඛයයි. කිසිවෙකුට ණයක් නැතැයි සිතා සොම්නසට පත්වීම අණන සුඛයි. මා කයින් සිතින් වචනයෙන් කිසිවෙකුටත් වරදක් කළේ නැත යන හැඟුමින් සතුටට පත්විය හැකි නම් එය අනවජ්ජ සුඛයයි.

මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තිය ඇති කරගත හැකිවෙයි. එසේම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැකිය. එවිට අපේ ආර්ථිකයද ශක්තිමත් වන අතර සමාජයේ ප්‍රගතියටද හේතු වේ. 


ඒ අනුව අප ධනය රැස් කළ යුතු වන්නේ,

" උට්ඨාන වීරියාධි ගතා - බහා බල පරිචිතා.

සේදා වක්ඛිත්තා - ධම්මිකා ධම්ම ලද්ධා භෝගා " 


උත්සාහයෙන්,වීර්යෙන්,බාහු බලය යොදවමින්,දහඩිය හෙළීමෙන්,ධාර්මික රැකියාවල නිරත වෙමින් ධනය රැස්කළ යුතුය.


නිසිකලට ධනය උපයා ගන්නා නැති පුද්ගලයන් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ මෙලෙස දක්වා තිබේ.

'අචරිත්වා බ්‍රහ්මචරියං

අලද්ධා යොබ්බනේ ධනං

ජිණ්ණකොඤ්චා' ව ඣායන්ති

ඛීණමච්ක්ජේව පල්ලලේ'

 සෑම අයෙකුම තරුණ කාලයේදී  ධාර්මිකව මිළ මුදල් උපයා ගතයුතුය.එසේ නොකරන තැනැත්තා මහලුවියට ගිය පසු දිය සිදුණු විලක් දෙස බලා සිටිනා කොස්වාලිහිනියකු වැනිය.

'අචරිත්වා බ්‍රහ්මචරියං

අලද්ධා යොබ්බනේ ධනං

සෙන්ති චාපාති ඛිත්තාව

පූරාණානි අනුත්ථුනං'.

සෑම අයෙකුම තරුණ කාලයේදී ධාර්මිකව මිල මුදල් උපයාගත යුතුය.එසේ නොකරන තැනැත්තා මහලු වියට පත් වූ පසු තරුණ කාලයේදී විඳි සැප පිළිබඳ සිතමින් තැවුලෙන් ඉන්නේ දුන්නෙන් විහිදුණු ඊතලය එතැනදීම දිරාපත් වන්නාසේය.

ලාංකීය සංස්කෘතිය සංකේතමත පදනම් වූවකි.

 

මානව පැවැත්මෙහි සමස්තය වශයෙන් ගැනෙන සංස්කෘතියේ කාර්යභාරය වන්නේ සමාජය සමබරව පවත්වාගෙන යාමයි.ශ්‍රී ලාංකේය සමාජය සංස්කෘතිය මුල් කර ගනිමින් ගොඩනැගුණු අයුරු දැක ගත හැකිය.සංස්කෘතිය තුළ දක්නට ලැබෙන භෞතික සංස්කෘතිය සංකේත මත පදනම් වූවකි.විවිධ අරුත් ගම්‍යකරමින් එකී සංස්කෘතිය ගොඩනැගී ඇත.

පුරාතන මානවයා විවිධ සන්නිවේදන ක්‍රම සිදුකර ඇත්තේ සංකේත පදනම් කර ගනිමිනි.ඉන් කිහිපයක් ලෙස,

💥බොල් විනා තැබීම - සර්ප උපද්‍රවයන්ගෙන් මිදීමට හා ඒ බව අනෙක් අයව දැනුවත් කරන්නාවූ සන්නිවේදන උපාය මාර්ගයකි.

💥වසංගත වැටිය - ගවයන්ට වැළඳෙන මුඛ රෝග හා කුර රෝග පිළිබඳ ගම්වැසියන් දැනුවත් කිරීමට යොදාගත් ක්‍රමයකි.

💥කඩුල්ලේ අතු වැලක් එල්ලීම - කිසියම් බෝවන රෝගයක් ගෙදර පවතී නම් ඒ බව වෙනත් අයට දැනවීමට හා ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙය කරනු ලබයි.

💥කොළ අතු මිටියක් කඩුල්ලේ කණුවක බැඳීම - කිල්ල දැක්වීමට මෙය සිදුකරයි. කොටහළු ,මරණ ,වැදුගේ කිල්ල, ඔසප් කිල්ල වේ. හොරි, දද, කුෂ්ඨ රෝගයෙන්ට කිලි වැදුණු විට ඒවා දරුණු අතට පත්වේ. ඒ බව දැනවීමට හා එයින් ආරක්ෂා වීමට මෙම සන්නිවේදන ක්‍රමය කරනු ලබයි.මෙය ගැමි ජනයා අතර පැවති සංකේතාත්මක සන්නිවේදන ක්‍රමයකි.


💥බුලත හා සම්බන්ධ වූ සංකේතාත්මක සංස්කෘතිකාංග දැකිය හැකිය.ඒවානම්, 

⦿මංගල දිනයෙන් පසු දින මනාලයාගේ හෝ මනාලියගේ ගෙදරට එන පිරිසෙහි සංඛ්‍යාව දැනුම් දෙන්නේ එන සංඛ්‍යාවට සමාන බුලත් කොළ දීමෙනි.

⦿ගෙදරට අමුත්තෙකු පැමිණ විට පළමුව දෙන්නේ බුලත් හෙප්පුවයි එයා අමුත්තා පිළිගැනීමක් හෝ ගරු කිරීමක් ලෙස ලබාදේ.

⦿බක්මහ අවුරුදු උත්සවයේදී දෙමාපියන් ,ගුරුවරුන්, වැඩිහිටියන්, ඥාතීන් ක්ෂමා කරන්නේද බුලත් හුරුල්ලක් දීමෙනි.

⦿පිරිත් මණ්ඩපය හා මංගල පෝරුව යනාදියෙහි බුලත් එල්ලීම අනිවාර්ය වේ 

⦿ආගමික හෝ වෙදකම සම්බන්ධ කටයුතුවලදී මුල් වන්නේ ද බුලත්ය .


💥කොඩියද ලාංකීය ජන සමාජයේ විවිධ සම්බන්ධතා නිරූපණය කිරීම සඳහා යොදාගත් සංකේත මෙවලමකි .


එහිදී පළාත ආගමික කුල ජන කණ්ඩායම් දේවාල රාජකාරී කටයුතු සංකේතවත් කිරීම සඳහා කොඩිය භාවිතා කොට ඇත පෙරහරකදී විවිධ ශේෂවලත් පුද්ගලයින්ගේ හා වෘත්තීයයන්හි සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා  ලද්දේද කොඩිය සංකේතවත් කිරීමෙනි. ප්‍රදේශ සංකේතවත් කරන්නේ කොඩියෙනි. එහිදී ,


ඌව පළාත - හංසයා කොඩිය 

සතර කෝරලය - සිංහ කොඩිය 

සත්කෝරලය - ඉර හඳ කොඩිය 

සබරගමුව- කහ පාට රෙදි කොඩිය 


⦿රාජකාරවලදී,

වෙඩික්කාර ලේකම් - රතු කොඩිය 

ඌව පළාත දිසාව - නෙළුම් කොඩිය 

ගජනායක නිලමේ -  ඇත් කොඩිය 

මහලේකම් -  ඇත් කඳ ලිහිණියා කොඩිය.


⦿දේවාල සංකේතවත් කිරීම,

කතරගම දේවාලය -  සැවුල් කොඩිය 

විෂ්ණු දේවාලය - ගරුඬ කොඩිය 

දෙවි නුවර දේවාලය -  ඉර හඳ කොඩිය 


⦿කුලවලට අයත් කොඩිය,

කරාව කුලය -  මකර කොඩිය  

දුරාව කුලය - රතුපාට සිංහයා ගොඩිය 

සලාගම කොඩිය -  අත්තුවක්කුව යෙදූ කොඩිය 


💥රබාන තුළින් සිදුවන සන්නිවේදන  සංකේතයන්,


⦿මනාලයා ඇතුළු මංගල පාර්ශවය පිළිගනු ලබන්නේ රබර් ගැසීමෙනි 

⦿මගුල් ගෙදර කෑම මේසේ ඉඳුල් කරන වෙලාව සංකේතාත්මකව දක්වන්නේ ලබන්නේ ගැසීමෙනි.

⦿මනාලියගේ පාරිශුද්ධත්වය ගමට සන්නිවේදනය කරනුයේ රබන් ගැසීමෙනි.තමාගේ පවිත්‍රත්වය පෙන්වීමට අපොහොසත් වූ මනාලියගේ දෙවැනි දිනයේදී රබන් ගැසීම නොකරයි.


💥කරල් පැදුර - නෑනා මස්සිනා විවාහයකදී ඒ පිළිබඳ එකඟතා පළ කෙරෙන සංකේතාත්මක ආකාරයකි.


💥කුල්ල පේ කිරීම - කාමරයේ දොරකඩ ළඟ කුල්ල තබා අඹුසැමියන් ලෙස හැසිරෙති.


💥අමුඩ පේ කිරීම - සිය පොදු භාර්යාව සමඟ එකට සිටින බව සොහොයුරාට සන්නිවේදනය කරනුයේ අමුඩය දොර උඩින් දැමීමෙනි.


💥කඩුල්ලෙන් සිදු කරන සංකේතාත්මක සන්නිවේදනය,

⦿කඩුල්ලේ පොලු 4 ම දමා තිබීම - නිවැසියන් ඈත ගමනක ගිය බව.

⦿කඩුල්ලේ පොලූ තුනක් දමා තිබීම - නිවැසියන් ගමේ අවට සිටින බව.

⦿කඩුල්ලේ පොලු දෙකක් දමා තිබීම - නිවැසියන් ගෙදර අවට සිටින බව.

⦿කඩුල්ලේ පොලූ එකක් දමා තිබීම - අඹු සැමියන් ගෙදර කිසියම් කාර්යයක් නිරතවන බව.

⦿කඩුල්ලේ පොලූ සියල්ල ඉවත් කර තිබීම - ගෙදරට පැමිණීමට කිසිදු බාධාවක් නැති බව සන්නිවේදනය කිරීම.


💥බෝල අතු බැඳීම - වැවක් ළඟ එසේ සිදුකර ඇත්නම් එය තහංචියකි. එනම් වැවේ මාළු ඇල්ලීම හෝ වතුර ගැනීම තහංචි කෙරේ.

💥ජීවන පිළිවෙත සම්බන්ධ සාම්ප්‍රදායික ක්‍රම අතර දඩයම පිණිස කැලයට ගිය විටදී එහි අතරමං වූ විට යොදාගත් සන්නිවේදන ක්‍රම දැකිය හැකිය.

⦿හූ කීම 

⦿දුම ගැසීම 

⦿අතු හන් නැමීම 

⦿ගස්වල සලකුණු තැබීම 

⦿තණ පඳුරු එකට අල්ලා බැඳීම අඩි පාර   

එවැනි සංකේත ලෙස දැකගත හැකිය.එවිට ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික සන්නිවේදනය තුළ භාවිතා කරන්නා වූ සියලු අංගයන් සංකේතාත්මක බවින් අනූන බව හඳුනාගත හැකිය.

Sunday, February 4, 2024

මඩ ගොහුරේ යඳින ජීවිත.

  

                        ඉන්දියන් සයුරේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව  සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටකි.ශ්‍රී ලංකාව සංවර්ධනය කරා පිය නැගීමේදී නාගරීකරනයෙන් තොර සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය.එහෙත් එකී නාගරීකරනය හේතුවෙන් විශාල මිනිසුන් සංඛ්‍යාවක් පීඩා විඳිති.මිනිසාගේ නොමනා ක්‍රියාවලීන්ගේ ප්‍රථිපලයක් ලෙස පරිසරය විශාල අයුරින් දූෂණයට ලක්ව ඇත.එනිසාම එය පෙරළා  මානවයාගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි.එය වර්තමානයට පමණක් නොව අනාගත පරපුරටද විශාල ලෙස බලපෑම් කළ හැකි බරපතල ඛේදවාචකයකි.ඒ අතරින් නාගරික අඩු ආදායම් ලබන ප්‍රජාව මුහුණ පාන පාරිසරික ගැටලු ප්‍රධාන තැනක් උසුළයි.

                   ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාරිසරික සෞඛ්‍ය අංශය විසින් කරන ලද වර්ගීකරණයට අනුව නාගරික අඩු ආදායම් ලබන්නන් ලෙස  පැල්පත් හා මුඩුක්කුවාසීන් සලකයි.අඩු ආදායම් ප්‍රජාව පදිංචිව සිටින ඉඩම්වල අයිතිය ඔවුන් සතු නොවීමත් එම ඉඩම් වෙනත් කාර්යයති සඳහා යොදා ගැනීමට සුදුසු තත්ත්වයක නොපැවතීමත් හේතු මත එම ඉඩම් අක්‍රීය තත්වයේ පසුවේ.

                             විශේෂයෙන්ම මෙම පැල්පත් මුඩුක්කු වැසියන් ඔවුන්ගේ අධ්‍යාපනය,ආර්ථික,සමාජීය,සෞඛ්‍ය තත්ත්වය අතින් පහළ.අඩු පහසුකම් යටතේ දිවි ගෙවන මොවුන් කුසගින්න සංසිඳුවා ගැනීමට ගන්නා වෙහෙස ඔවුනගේ කර්කෂ මුහුණු වලින් පිළිබිඹු වේ.බීමට පිරිසිඳු ජල බිඳක් නොමැතිව ,කළු දුමින් පිරුණු විෂ වායු ආශ්වාස කරන ,මළ ද්‍රව්‍ය පිට කිරීමට තරම්වත් හරිහමන් ඉඩ හසරක් නොමැති මොවුනට සතුට යන්න වචනයක් පමණක්ම විය.

                  උතුරු කොළඹ පැල්පත් ජනාවාසයන්හි ලුණුපොකුණ දුම්රිය පටුමග ,අලුත් මාවත 328/26 වත්ත,130 වත්ත,484 වත්ත,කිඹුලා ඇළ 162 වත්ත වැනි පැල්පත් ජනාවාස ඉන් කිහිපයක් ලෙස පෙන්වා දිය හැකිය.මෙහි සාමාන්‍ය පවුලක සාමාජිකයන් 5 ක් පමණ වාසය කරන අතර එක් පැල්පතක් තුළ පවුල් කීපයක් ජීවත්වන අවස්ථාද බහුලය.ඇළවල්වලින් ,දුම්‍ රිය මාර්ගයන් හා වඟුරු බිම් වලින් මෙම පැල්පත් වටවී තිබේ.ඉතාම දුඟද සහිත මෙම ප්‍රදේශයේ එකිනෙකට යාවූ බොහෝ සේ දිරාපත් වූ පැල්පත්වල ස්වභාවයක් උසුලන මෙහි එක යායට පැතිරී පවතින පැල්පත් දක්නට තිබේ.මොවුනට ජලය හෝ වැසිකිළි පහසුකම් කිසිවක් නැත.තාවකාලික වැසිකිළි කිහිපයක් ඇළට මුදා හරින ලෙස ගොඩනගා ගෙන තිබෙන අතර වැඩි ප්‍රමානයක් මළපහ ඔතා විසි කිරීමේ (wrap and throw system) ක්‍රමයට හුරුව පවතී.

                   පැල්පත් සඳහා එකදු ස්ථීර ද්‍රව්‍යයක් හෝ පැල්පත් ඉදිකිරීම සඳහා භාවිත කොට නැත.ලෑලි හෝ ඉවත දමන ලද ලෑලි කැබලි මඟින් නිවාස තනා තිබේ.කුඩා වැස්සකදී පවා ඇළවල් පිටාර ගැළීම සිඳුවේ.බීමට පිරිසිඳු ජලය සොයා යාමට කිලෝමීටර ගණනාවක් ඇවිද යන අතර පැය තුන හතරක් පමණ පෝලිමේ සිට වතුර කළයක් රැස් කර ගනී.ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට වත් හරි හමන් ඉඩ ප්‍රස්ථාවක් නොමැති අතර මළපහ ඉවත දැමීමෙන් අපිරිසිඳු වූ දුම්‍ රිය මාර්ග ඔවුන් ඒ වෙනුවෙන් කරගෙන තිබේ.

                   පැල්පත්වාසීන් තම සෞඛ්‍ය තත්ත්වය හා ලිංගික සම්බන්ධතා පිළිබඳව එතරම් තැකීමක් නොකරයි.එනිසාම ඔවුන් විවිධ වූ රෝගී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.එපමණක් නොව ගණිකා වෘත්තිය,මත්ද්‍රව්‍ය භාවිතය මෙම ගිය පැල්පත්වාසීන් තුළ බහුලව පවතී.මොවුන් අතර ස්ථීර වූ ජීවනෝපායන් අල්පය.අධ්‍යාපනය කෙරෙහිද දැඩි උනන්දුවක් නොමැති තරම්ය.

                             පුද්ගලයකුට මනා සමාජානුයෝජනයක් සහිත පෞරෂයෙන් හෙඹි අයෙකු වීමට නම් ඔහු ජීවත්වන වටපිටාව සුදුසු ලෙස සැකසී තිබිය යුතුය.නමුත් පැල්පත් වාසය තුළ නාගරීකරණය,කාර්මීකරණයට නතුව පුද්ගලයකුගේ මානසික නිදහස ,කායික නිරෝගීතාවය උඩුයටිකුරු වී තිබේ.ආර්ථික,දේශපාලනික,සමාජීය  තත්ත්ව හමුවේ මූලික අවශ්‍යතාවයන්ටවත් නිසි ලෙස පිළිසරණක් නොමැති තරම්‍ ය.වසර ගණනාවක් අදූරදර්ශී දේශපාලන දර්ශනය මත ගෙනගිය පාලනයන් හේතුවෙන් තවමත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින් රටකි.චතුරස්‍රයකට කොටු වූ මිනිස් ජීවත සිතැඟි පරිදි ඔවුන්ගේ නිදහස භුක්ති විඳින්නේ කෙඳිනකද?මඩගොහුරේ පිපෙන මල් මඩේම පරව යන්නට ඉඩ හරිනවාද යන්න මුළු මහත් සමාජයටම උරමත පැටවූ වගකීමකි.

සැකයෙන් තොර යුග දිවියක්

  

        


       මිනිස් ජීවිතයේ ඉපදීම,වැඩිවියට පැමිනීම විවාහය හා මරණය යන ද්වාරකර්ම අවධීන් අතරින් විශේෂ වූ අවස්ථාවන් ලෙස විවාහය හඳුනාගත හැකිය.විවාහය යනු පුද්ගලයකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකි. ‘ එක් මිනිසෙකු හා එක් ගැහැණියක අතර ඇතිවන සම්බන්ධතාවයේ ප්‍රතිඵලය ලෙස ගැහැණිය බිහි කරන දරුවන් නීත්‍යානූකූල යැයි සමාජය පිළිගැනීමයි.’යනුවෙන් බ්‍රිතාන්‍ය මානව විද්‍යා සංගමයේ ප්‍රකාශනයක් වන Notes and Queroes 1951 හි විවාහය යන්න අර්ථ දක්වනු ලබයි.විවාහය හා සමගාමීව පවතින තවත් සංකල්පයක් ලෙස පවුල හඳුනාගත හැකිය.පවුල නැමැති නිර්මාණය රඳා පවතින්නේ විවාහය නම් ආරුක්කුව මත යැයි ප්‍රකාශ කළ හැකිය.සමාජ,සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වේ.නැකැත් චාරිත්‍ර ඔස්සේ මෙලෙස ඇරඹෙන යුග දිවිය තම ස්වාමිපුරුෂයා/බිරිඳ/දූ දරුවන් සමඟ මියයන තෙක්ම සමඟියෙන් ජීවත් වීම ඔවුන්ගේ අරමුණයි.පවුල් ජීවිතයක් ගත කිරීමම අභියෝගාත්මකය.

                            පවුල් දිවි ගමනට විවිධ වූ ආකාරයේ බාධා එල්ල විය හැකිය.සමාජ, සංස්කෘතික, ආගමික කරුණූ මත මෙන්ම  පුද්ගලයකු තුළ හටගන්නා  සැකය මූලික කර ගනිමින් පවුල් දිවියට බාධා ඇතිවිය හැකිය.සැකය ඇති වන්නේ පුද්ගලයකුගේ හදවත තුළයි.ස්ථීරසාර ප්‍රේමයෙන් වෙලී ගිය දෙහදක් මදට සැකය ඇතුළුවන්නේ කලාතුරකිනි.නමුත් සැකය උත්සන්න වූ කල්හි ප්‍රේමය වෛරයකට පෙරළී පවුල් අවුල් කර දමා දරුවන් මහමඟ අනාථ කර ,ඇතැම් විට ජීවිත කිහිපයක් පෝරකයට යැවීමට තරම් ශක්තිමත්‍ ය.සැකය යනු වෛරසයක් මෙනි.කාලයත් සමඟ එය මුළු ශරීරය පුරාම උඩුදුවන්නේය.සැමියා හා බිරිඳ අතර  අන්‍යෝන්‍ය අවබෝධය දුර්වල වී ගිය විට සැකය යළි පණ නැගෙන්නට පටන් ගත්තේය.සැමියා හා බිරිඳ එකිනෙකාට ආදරයෙන් ගෞරවයෙන් යුතුව ජීවත් වන අතරවාරයේ සැකය ඇතුළු වූ පසු සැමියාගේ හා බිරිඳගේ සෑම ඉරියව්වක්ම සැක සහිතය.මේ නිසා දෙදෙනා තුළම ඇති වන්නේ වෛරයක් හා කෝපයකි.එතැන් පටන් ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගෙන්ම පළිගැනීමට පටන් ගන්නා අතර ඔවුන් විසින් ඉටුවිය යුතු  යුතුකම් හා වගකීම්ද වුවමනාවෙන්ම පැහැර හරියි.පෘතග්ජන සත්වයකු වන මිනිසා සතු සැකය ඇති වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් හදවත් දෙකක් තුළින් සමාජ ඒකකයක් ගොඩ නැංවීමට ගිවිසගත් පවුලක ඇතිවන සැකය භයානකය.

                වර්තමාන සමාජයේ යුග දිවිය තුළ වැඩි වශයෙන්ම සැකය උපදීමට හේතු වන්නේ ජංගම දුරකතන හා අනියම් සබඳතා ඇති කර ගැනීමයි.තම බිරිඳගේ හා සැමියාගේ ආදරය හා රැකවරණය,කරුණාව නොලැබෙන විට සමාජ මාධ්‍ය තුළින් ආදරය,කරුණාව සෙවීමට බොහෝ දෙනා උත්සුක වෙති.එහෙයින් අනියම් සබඳතා ඇතිවේ.පවුල් ජිවිතය තුළ සැකය ඉපදීමෙන් ඒ ඔස්සේ පවුල කඩාබිඳ දැමීමටත් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම හා අනියම් සබඳතා ඇති කර ගැනීම තුළින් සිදුවේ.

විෂම වූ ලෝකයේ ඊර්ෂ්‍යාව , කුහකත්වය රජ කරන අවධියක ස්වාමියාගේ නුගුණ බිරිඳටත්,බිරිඳගේ නුගුණ ස්වාමියාටත් පවසා වරදෙහි පැටලවීමට මහන්සි ගන්නා බොහෝ අය වෙති.එමෙන්ම මිතුරන් ආශ්‍රය කිරීමත් කල්පනාකාරීව කළ යුතු ක්‍රියාවකි.සංවරශීලීව කරන මිතුරු ඇසුර දෙදෙනාම තේරුම්ගත යුතුය.මිතුරන් හමුවීමට යාමේදීත් , මිතුරන් සමඟ සාද පවත්වන විටදීත් දෙදෙනාම එයට සහභාගී වීම නුවණට හුරුය.එපමනක් නොව නොගැළපෙන මිතුරන්ගෙන් ඈත්වීම වැඩදායකය.

                                                          එමෙන්ම නිවසේ සේවයට සිටින සේවක සේවිකාවන් හේතුවෙන්ද ස්වාමියා හා බිරිඳ අතර සැකය උපදී.එමෙන්ම තමා වැඩ කරන සේවා ස්ථානයේදී ඇසුරු කරන විවිධ පුද්ගලයන් හේතුවෙන්ද බිරිඳ හා ස්වාමියා අතර සැකය උපදී.එම අදූරදර්ශී තීරන හේතුවෙන් දික්කසාද නඩු අහස උසට ගොඩනැගී ඇත.ළමුන් අනාථ නිවෙස්වල දුකසේ කල් ගෙවති.ආර්ථිකය අඩපණ වීම හේතුවෙන් ළමයි ළමා නිවෙස්වල තනිකර දමා යති.පවුල් ආරවුල් හේතුවෙන් ළමයින්ගේ සමාජානුයෝජනය දුර්වල වී ඇත.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත.මිනීමැරුම් , ඝාතන සිදුවීම් අසන්නට දකින්නට ලැබේ. සිරගෙවල් පිරී ඇත.මානසික රෝගීන් බවට පත්ව ඇත.

           සැකය හෙවත් විචිකිච්චාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේ සිහි නුවණින් කටයුතු කරන ලෙසයි.මේ හේතුවෙන් සැකයක් ඇති වූ විට ඉක්මන් නොවී කල්පනාකාරී විය යුතුය.අන්මතයන්ට සාවදානව ඇහුම්කම් දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.මනා පෞරුෂයකින් යුක්තව යහපත් තීරණ ගත යුතුය.මෙවැනි අවස්ථාවක මුලා වී සිතේ වෛරයක් ඇති කර ගන්නවා වෙනුවට බිරිඳ හා සැමියා විසින් ඔවුනොවුන්ගේ මෙතෙක් ලද ආදරය ,අනුකම්පාව  ගැන සිතිය යුතුය.ඔවුන් නිසාවෙන් තමා ලද ජීවන සුවය පිළිබඳ සිතිය යුතුය.තම දරුවන් ,දෙමාපියන් හා තමාගේ ඉදිරි අනාගතය පිළිබඳව සිහි බුද්ධියෙන් සිතිය යුතුය.අනුකම්පාවේ තෙතමනයක් නොමැතිව අමානුෂිකව අසභ්‍ය ලෙස සැකයට මුවා වී දොස් පවරනවා වෙනුවට තමාට විශ්වාසදායක පුද්ගලයකුගේ උපදෙස් ගැනීම හා මනෝඋපදේශකයකු මුණ ගැසී තම මනස නිරවුල් කරගත යුතුය.එමෙන්ම දෙදෙනා හොඳින් අවබෝධ කර ගැනීම හා ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩනගා ගත යුතුය.එහෙයින් සැකයේ කඩතුරාවට මුවාවී වේදනාවේ ගිනිසිළු මැඳ දැවි දැවී ජීවත් වෙනවාට වඩා තම බිරිඳ ස්වාමියා හා දරුවන් සමඟ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇත.








දියුණුවේ රහස ඔබේ උත්සාහයයි.

                             

                   


          පුද්ගලයකුගේ ජීවිතයේ දියුණුව,ඔහු හෝ ඇය කරන කැපකිරීම මත තීරණය වන්නකි. උපතින් හිස් අතින් පැමිණෙන මිනිසා සමාජයේ කතා බහට ලක්වන, ගෞරවනීය ,පිළිගත්,මනා පෞරුෂයක් හෙබි පුද්ගලයකු වන්නේ ඔහුගේ දියුණුව හේතුවෙනි.දියුණුව එක රැයකින් කළ නොහැකි දෙයකි.මුළු ජීවිතයම පරදුවට තබා උත්සාහයෙන්, කැපවීමෙන්,අවදානම් දරමින් දින සති මාස වර්ෂ ගණනක මහන්සියේ ප්‍රතිඵලයකින් හමුවන්නකි.දියුණුවට යන ගමනේදී සිදුවන කරදර බාධක රාශියකි. සාර්ථකත්වයට පත් වූ චරිත කතා විමර්ශනයේදී ඒ බව මනාව වැටහෙනු ඇත. ඉදිරියට තියෙන අඩියක් පාසාම පැරදුනු තැන් බොහෝය. නමුත් ඒ සියල්ලම සාර්ථකත්වයට බලපාන අභියෝග ලෙස භාරගනිමින් එයට නොබියව මුහුණ දීම මත ඔබට ඔබේ දියුණුවේ මාර්ගය මුණගැසෙනු ඇත.

               පුද්ගල දියුණුව විවිධ වූ පැතිකඩ ඔස්සේ මැනිය හැකිය. හොඳින් අධ්‍යාපනය හැදෑරීම, විභාගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලැබීම, තම ව්‍යාපාර සාර්ථක කර ගැනීම, තමාගේ කුසලතා වර්ධනය කර ගැනීම ආදී නොයෙකුත් කාරණා දැකිය හැකිය.වර්තමාන සමාජය ගත්විට පුද්ගලයකුගේ දියුණුවට අව්‍යාජ ලෙස සුබ පතනවා වෙනුවට අකුල් හෙලන පිරිස බහුලය.දියුණුවේ හිනිපෙත්තටම යාමට නම් ඔබට ඔබගේ ජීවිතය කැප කිරීමට සිදුවේ. එය මානසික පීඩාවක් නොකර තමාගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිතා ගත යුතු තීරණයකි.

                           ලොව දියුණුවට පැමිණි බොහෝ පුද්ගලයන් සිය දහස් වාරයක් ප්‍රතික්ෂේප වීම මැද තම සිහිනය ජයගත් අයයි.සිහිනය මායාවක් නොවී යථාර්ථයක් බවට පත්වූයේ දියුණුව වෙනුවෙන් ගත් උත්සාහයයි.පුද්ගලයකු වංචනික ලෙස එක රැයකින් දියුණු වෙනවාට වඩා වසර ගණනක උත්සාහයේ ප්‍රතිඵලයකින් දියුණු වීම අගනේය.ඒ දියුණුව ඔහුගේ මියයාමෙන් පසුවද කතා බහට ලක්වන කරුණක් වනු ඇත.බඹරා මලින් මලට ගොස් මළ නොතලා මල් පැණි රැස්කොට විශාල වධයක් බඳින්නේද ,වේයා පස් ස්වල්පයක් බැගින් ගෙනැවිත් විශාල තුඹසක් බඳින්නේද, දියුණුවේ රහස උත්සාහය බව පසක් කරවමිනි.

                            අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක්මා ලොව ප්‍රබලතම  සමාගමට හිමිකම් කියන පුද්ගලයකු බවට පත්ව ඇත්තේ ඔහුගේ උත්සාහයෙනි.සාර්ථක ව්‍යවසායකයන් අතරින් වැඩිම ප්‍රතික්ෂේප වීම්වලට ලක්ව තිබෙනුයේ ජැක්මා ය.චීනයේ දුප්පත් පවුලක ඉපදුණු ඔහු ලැබීම් වෙනුවට ජීවිතයේ නොලැබීම් සම්භාරයකට මුහුණ දුන් අයෙකි.ප්‍රාථමික පාසලට මෙන්ම ද්විතීක පාසලට මුහුණ දෙන විභාගය මොහු තුන් වතාවක් පරාජය වී ඇත.විසි හතර දෙනෙකුගෙන් සමන්විත සම්මුඛ පරීක්‍ෂණයේදී ඔහු හැර අනෙක් සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව ඇත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයට දහසය වතාවක් ඇතුළත් වීමට යොමු වුවද ඒ සියලු අවස්ථාවල ප්‍රතික්ෂේප විය.ඒ කෙසේ නමුත් ඔහුගේ උත්සාහය බිඳක්වත් අඩු නොවීය.අන්තර්ජාලය ඔස්සේ චීනය මුළු ලෝකයටම හඳුන්වා දුන්නේ ජැක්මා ය.මුල් කාලයේදී පිස්සෙකු ලෙස හන්වඩු ගැසූ ඔහු ලෝකයක් කතා කරන, පිළිගත්, ගෞරවනීය ප්‍රබලතම ව්‍යවසායකයෙකු බවට පත්වූයේ ඔහුගේ නොමද උත්සාහයෙනි.

                                         දියුණුව කරා යනගමනේදී ළඟා කරගත් ඉලක්ක පිළිබඳ සෑහීමකට පත්වනවා වෙනුවට එකී ඉලක්ක ළඟා කර ගැනීමේදී ඇති වූ බාධක, අභියෝග, පරාජය වූ අවස්ථා, අසාර්ථක වීම් පිළිබඳ නැවත නැවත අධ්‍යයනයක නිරත වීමෙන් ඒවා මඟ හැර උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ඔබගේ දියුණුවට නව මංපෙත් විවර වනු ඇත.උත්සාහයෙන් ළඟා කරගත්ත සෑම ජයග්‍රහණයකම ශක්තිය සෙවනැල්ලක් මෙන් ඔබ පසුපසම ගමන් කරයි. " මම ජීවිතය ජයගත යුතුයි", " කවදා හරි දියුණු වෙනවා"  යැයි කියවමින් වහසි බස් දොඩනවා වෙනුවට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන නිර්මාණශීලීව සිතමින් ප්‍රතික්ෂේප වීම් අභියෝග කර ගනිමින් තම ජීවිතය නැවුම් මාවතකට විවර වෙන මොහොතේ ඔබට වැටහෙනුයේ දියුණුවේ රහස උත්සාහය බවයි.





පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන තීරු ලිපි

          තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂ...