ඉන්දියන් සයුරේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටකි.ශ්‍රී ලංකාව සංවර්ධනය කරා පිය නැගීමේදී නාගරීකරනයෙන් තොර සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය.එහෙත් එකී නාගරීකරනය හේතුවෙන් විශාල මිනිසුන් සංඛ්‍යාවක් පීඩා විඳිති.මිනිසාගේ නොමනා ක්‍රියාවලීන්ගේ ප්‍රථිපලයක් ලෙස පරිසරය විශාල අයුරින් දූෂණයට ලක්ව ඇත.එනිසාම එය පෙරළා මානවයාගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි.එය වර්තමානයට පමණක් නොව අනාගත පරපුරටද විශාල ලෙස බලපෑම් කළ හැකි බරපතල ඛේදවාචකයකි.ඒ අතරින් නාගරික අඩු ආදායම් ලබන ප්‍රජාව මුහුණ පාන පාරිසරික ගැටලු ප්‍රධාන තැනක් උසුළයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාරිසරික සෞඛ්‍ය අංශය විසින් කරන ලද වර්ගීකරණයට අනුව නාගරික අඩු ආදායම් ලබන්නන් ලෙස පැල්පත් හා මුඩුක්කුවාසීන් සලකයි.අඩු ආදායම් ප්‍රජාව පදිංචිව සිටින ඉඩම්වල අයිතිය ඔවුන් සතු නොවීමත් එම ඉඩම් වෙනත් කාර්යයති සඳහා යොදා ගැනීමට සුදුසු තත්ත්වයක නොපැවතීමත් හේතු මත එම ඉඩම් අක්‍රීය තත්වයේ පසුවේ.
විශේෂයෙන්ම මෙම පැල්පත් මුඩුක්කු වැසියන් ඔවුන්ගේ අධ්‍යාපනය,ආර්ථික,සමාජීය,සෞඛ්‍ය තත්ත්වය අතින් පහළ.අඩු පහසුකම් යටතේ දිවි ගෙවන මොවුන් කුසගින්න සංසිඳුවා ගැනීමට ගන්නා වෙහෙස ඔවුනගේ කර්කෂ මුහුණු වලින් පිළිබිඹු වේ.බීමට පිරිසිඳු ජල බිඳක් නොමැතිව ,කළු දුමින් පිරුණු විෂ වායු ආශ්වාස කරන ,මළ ද්‍රව්‍ය පිට කිරීමට තරම්වත් හරිහමන් ඉඩ හසරක් නොමැති මොවුනට සතුට යන්න වචනයක් පමණක්ම විය.
උතුරු කොළඹ පැල්පත් ජනාවාසයන්හි ලුණුපොකුණ දුම්රිය පටුමග ,අලුත් මාවත 328/26 වත්ත,130 වත්ත,484 වත්ත,කිඹුලා ඇළ 162 වත්ත වැනි පැල්පත් ජනාවාස ඉන් කිහිපයක් ලෙස පෙන්වා දිය හැකිය.මෙහි සාමාන්‍ය පවුලක සාමාජිකයන් 5 ක් පමණ වාසය කරන අතර එක් පැල්පතක් තුළ පවුල් කීපයක් ජීවත්වන අවස්ථාද බහුලය.ඇළවල්වලින් ,දුම් රිය මාර්ගයන් හා වඟුරු බිම් වලින් මෙම පැල්පත් වටවී තිබේ.ඉතාම දුඟද සහිත මෙම ප්‍රදේශයේ එකිනෙකට යාවූ බොහෝ සේ දිරාපත් වූ පැල්පත්වල ස්වභාවයක් උසුලන මෙහි එක යායට පැතිරී පවතින පැල්පත් දක්නට තිබේ.මොවුනට ජලය හෝ වැසිකිළි පහසුකම් කිසිවක් නැත.තාවකාලික වැසිකිළි කිහිපයක් ඇළට මුදා හරින ලෙස ගොඩනගා ගෙන තිබෙන අතර වැඩි ප්‍රමානයක් මළපහ ඔතා විසි කිරීමේ (wrap and throw system) ක්‍රමයට හුරුව පවතී.
පැල්පත් සඳහා එකදු ස්ථීර ද්‍රව්‍යයක් හෝ පැල්පත් ඉදිකිරීම සඳහා භාවිත කොට නැත.ලෑලි හෝ ඉවත දමන ලද ලෑලි කැබලි මඟින් නිවාස තනා තිබේ.කුඩා වැස්සකදී පවා ඇළවල් පිටාර ගැළීම සිඳුවේ.බීමට පිරිසිඳු ජලය සොයා යාමට කිලෝමීටර ගණනාවක් ඇවිද යන අතර පැය තුන හතරක් පමණ පෝලිමේ සිට වතුර කළයක් රැස් කර ගනී.ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට වත් හරි හමන් ඉඩ ප්‍රස්ථාවක් නොමැති අතර මළපහ ඉවත දැමීමෙන් අපිරිසිඳු වූ දුම් රිය මාර්ග ඔවුන් ඒ වෙනුවෙන් කරගෙන තිබේ.
පැල්පත්වාසීන් තම සෞඛ්‍ය තත්ත්වය හා ලිංගික සම්බන්ධතා පිළිබඳව එතරම් තැකීමක් නොකරයි.එනිසාම ඔවුන් විවිධ වූ රෝගී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.එපමණක් නොව ගණිකා වෘත්තිය,මත්ද්‍රව්‍ය භාවිතය මෙම ගිය පැල්පත්වාසීන් තුළ බහුලව පවතී.මොවුන් අතර ස්ථීර වූ ජීවනෝපායන් අල්පය.අධ්‍යාපනය කෙරෙහිද දැඩි උනන්දුවක් නොමැති තරම්ය.
පුද්ගලයකුට මනා සමාජානුයෝජනයක් සහිත පෞරෂයෙන් හෙඹි අයෙකු වීමට නම් ඔහු ජීවත්වන වටපිටාව සුදුසු ලෙස සැකසී තිබිය යුතුය.නමුත් පැල්පත් වාසය තුළ නාගරීකරණය,කාර්මීකරණයට නතුව පුද්ගලයකුගේ මානසික නිදහස ,කායික නිරෝගීතාවය උඩුයටිකුරු වී තිබේ.ආර්ථික,දේශපාලනික,සමාජීය තත්ත්ව හමුවේ මූලික අවශ්‍යතාවයන්ටවත් නිසි ලෙස පිළිසරණක් නොමැති තරම් ය.වසර ගණනාවක් අදූරදර්ශී දේශපාලන දර්ශනය මත ගෙනගිය පාලනයන් හේතුවෙන් තවමත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින් රටකි.චතුරස්‍රයකට කොටු වූ මිනිස් ජීවත සිතැඟි පරිදි ඔවුන්ගේ නිදහස භුක්ති විඳින්නේ කෙඳිනකද?මඩගොහුරේ පිපෙන මල් මඩේම පරව යන්නට ඉඩ හරිනවාද යන්න මුළු මහත් සමාජයටම උරමත පැටවූ වගකීමකි.
No comments:
Post a Comment