Sunday, February 4, 2024

සැකයෙන් තොර යුග දිවියක්

  

        


       මිනිස් ජීවිතයේ ඉපදීම,වැඩිවියට පැමිනීම විවාහය හා මරණය යන ද්වාරකර්ම අවධීන් අතරින් විශේෂ වූ අවස්ථාවන් ලෙස විවාහය හඳුනාගත හැකිය.විවාහය යනු පුද්ගලයකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකි. ‘ එක් මිනිසෙකු හා එක් ගැහැණියක අතර ඇතිවන සම්බන්ධතාවයේ ප්‍රතිඵලය ලෙස ගැහැණිය බිහි කරන දරුවන් නීත්‍යානූකූල යැයි සමාජය පිළිගැනීමයි.’යනුවෙන් බ්‍රිතාන්‍ය මානව විද්‍යා සංගමයේ ප්‍රකාශනයක් වන Notes and Queroes 1951 හි විවාහය යන්න අර්ථ දක්වනු ලබයි.විවාහය හා සමගාමීව පවතින තවත් සංකල්පයක් ලෙස පවුල හඳුනාගත හැකිය.පවුල නැමැති නිර්මාණය රඳා පවතින්නේ විවාහය නම් ආරුක්කුව මත යැයි ප්‍රකාශ කළ හැකිය.සමාජ,සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වේ.නැකැත් චාරිත්‍ර ඔස්සේ මෙලෙස ඇරඹෙන යුග දිවිය තම ස්වාමිපුරුෂයා/බිරිඳ/දූ දරුවන් සමඟ මියයන තෙක්ම සමඟියෙන් ජීවත් වීම ඔවුන්ගේ අරමුණයි.පවුල් ජීවිතයක් ගත කිරීමම අභියෝගාත්මකය.

                            පවුල් දිවි ගමනට විවිධ වූ ආකාරයේ බාධා එල්ල විය හැකිය.සමාජ, සංස්කෘතික, ආගමික කරුණූ මත මෙන්ම  පුද්ගලයකු තුළ හටගන්නා  සැකය මූලික කර ගනිමින් පවුල් දිවියට බාධා ඇතිවිය හැකිය.සැකය ඇති වන්නේ පුද්ගලයකුගේ හදවත තුළයි.ස්ථීරසාර ප්‍රේමයෙන් වෙලී ගිය දෙහදක් මදට සැකය ඇතුළුවන්නේ කලාතුරකිනි.නමුත් සැකය උත්සන්න වූ කල්හි ප්‍රේමය වෛරයකට පෙරළී පවුල් අවුල් කර දමා දරුවන් මහමඟ අනාථ කර ,ඇතැම් විට ජීවිත කිහිපයක් පෝරකයට යැවීමට තරම් ශක්තිමත්‍ ය.සැකය යනු වෛරසයක් මෙනි.කාලයත් සමඟ එය මුළු ශරීරය පුරාම උඩුදුවන්නේය.සැමියා හා බිරිඳ අතර  අන්‍යෝන්‍ය අවබෝධය දුර්වල වී ගිය විට සැකය යළි පණ නැගෙන්නට පටන් ගත්තේය.සැමියා හා බිරිඳ එකිනෙකාට ආදරයෙන් ගෞරවයෙන් යුතුව ජීවත් වන අතරවාරයේ සැකය ඇතුළු වූ පසු සැමියාගේ හා බිරිඳගේ සෑම ඉරියව්වක්ම සැක සහිතය.මේ නිසා දෙදෙනා තුළම ඇති වන්නේ වෛරයක් හා කෝපයකි.එතැන් පටන් ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගෙන්ම පළිගැනීමට පටන් ගන්නා අතර ඔවුන් විසින් ඉටුවිය යුතු  යුතුකම් හා වගකීම්ද වුවමනාවෙන්ම පැහැර හරියි.පෘතග්ජන සත්වයකු වන මිනිසා සතු සැකය ඇති වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් හදවත් දෙකක් තුළින් සමාජ ඒකකයක් ගොඩ නැංවීමට ගිවිසගත් පවුලක ඇතිවන සැකය භයානකය.

                වර්තමාන සමාජයේ යුග දිවිය තුළ වැඩි වශයෙන්ම සැකය උපදීමට හේතු වන්නේ ජංගම දුරකතන හා අනියම් සබඳතා ඇති කර ගැනීමයි.තම බිරිඳගේ හා සැමියාගේ ආදරය හා රැකවරණය,කරුණාව නොලැබෙන විට සමාජ මාධ්‍ය තුළින් ආදරය,කරුණාව සෙවීමට බොහෝ දෙනා උත්සුක වෙති.එහෙයින් අනියම් සබඳතා ඇතිවේ.පවුල් ජිවිතය තුළ සැකය ඉපදීමෙන් ඒ ඔස්සේ පවුල කඩාබිඳ දැමීමටත් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම හා අනියම් සබඳතා ඇති කර ගැනීම තුළින් සිදුවේ.

විෂම වූ ලෝකයේ ඊර්ෂ්‍යාව , කුහකත්වය රජ කරන අවධියක ස්වාමියාගේ නුගුණ බිරිඳටත්,බිරිඳගේ නුගුණ ස්වාමියාටත් පවසා වරදෙහි පැටලවීමට මහන්සි ගන්නා බොහෝ අය වෙති.එමෙන්ම මිතුරන් ආශ්‍රය කිරීමත් කල්පනාකාරීව කළ යුතු ක්‍රියාවකි.සංවරශීලීව කරන මිතුරු ඇසුර දෙදෙනාම තේරුම්ගත යුතුය.මිතුරන් හමුවීමට යාමේදීත් , මිතුරන් සමඟ සාද පවත්වන විටදීත් දෙදෙනාම එයට සහභාගී වීම නුවණට හුරුය.එපමනක් නොව නොගැළපෙන මිතුරන්ගෙන් ඈත්වීම වැඩදායකය.

                                                          එමෙන්ම නිවසේ සේවයට සිටින සේවක සේවිකාවන් හේතුවෙන්ද ස්වාමියා හා බිරිඳ අතර සැකය උපදී.එමෙන්ම තමා වැඩ කරන සේවා ස්ථානයේදී ඇසුරු කරන විවිධ පුද්ගලයන් හේතුවෙන්ද බිරිඳ හා ස්වාමියා අතර සැකය උපදී.එම අදූරදර්ශී තීරන හේතුවෙන් දික්කසාද නඩු අහස උසට ගොඩනැගී ඇත.ළමුන් අනාථ නිවෙස්වල දුකසේ කල් ගෙවති.ආර්ථිකය අඩපණ වීම හේතුවෙන් ළමයි ළමා නිවෙස්වල තනිකර දමා යති.පවුල් ආරවුල් හේතුවෙන් ළමයින්ගේ සමාජානුයෝජනය දුර්වල වී ඇත.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත.මිනීමැරුම් , ඝාතන සිදුවීම් අසන්නට දකින්නට ලැබේ. සිරගෙවල් පිරී ඇත.මානසික රෝගීන් බවට පත්ව ඇත.

           සැකය හෙවත් විචිකිච්චාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේ සිහි නුවණින් කටයුතු කරන ලෙසයි.මේ හේතුවෙන් සැකයක් ඇති වූ විට ඉක්මන් නොවී කල්පනාකාරී විය යුතුය.අන්මතයන්ට සාවදානව ඇහුම්කම් දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.මනා පෞරුෂයකින් යුක්තව යහපත් තීරණ ගත යුතුය.මෙවැනි අවස්ථාවක මුලා වී සිතේ වෛරයක් ඇති කර ගන්නවා වෙනුවට බිරිඳ හා සැමියා විසින් ඔවුනොවුන්ගේ මෙතෙක් ලද ආදරය ,අනුකම්පාව  ගැන සිතිය යුතුය.ඔවුන් නිසාවෙන් තමා ලද ජීවන සුවය පිළිබඳ සිතිය යුතුය.තම දරුවන් ,දෙමාපියන් හා තමාගේ ඉදිරි අනාගතය පිළිබඳව සිහි බුද්ධියෙන් සිතිය යුතුය.අනුකම්පාවේ තෙතමනයක් නොමැතිව අමානුෂිකව අසභ්‍ය ලෙස සැකයට මුවා වී දොස් පවරනවා වෙනුවට තමාට විශ්වාසදායක පුද්ගලයකුගේ උපදෙස් ගැනීම හා මනෝඋපදේශකයකු මුණ ගැසී තම මනස නිරවුල් කරගත යුතුය.එමෙන්ම දෙදෙනා හොඳින් අවබෝධ කර ගැනීම හා ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩනගා ගත යුතුය.එහෙයින් සැකයේ කඩතුරාවට මුවාවී වේදනාවේ ගිනිසිළු මැඳ දැවි දැවී ජීවත් වෙනවාට වඩා තම බිරිඳ ස්වාමියා හා දරුවන් සමඟ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇත.








No comments:

Post a Comment

පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන තීරු ලිපි

          තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂ...