ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරයද නොයෙකුත් සූත්‍ර දේශනාවල බුදුන් වහන්සේ දක්වා ඇත. අපගේ මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට නම් ධනය එනම් වතුපිටි, ඉඩකඩම්, මිලමුදල් ආදිය අවශ්‍ය වේ. මෙම ධනය ඉපදවිය යුතුතේ සාධාරණ හා උත්සාහවන්තවයි.
දීඝජානු කෝලිය කුල පුත්‍රයා බුදුන් වහන්සේගෙන් විමසනුයේ පරලොව හා මෙලොව දියුණුව පිණිස හේතුවන කරුණුය. එහිදී මෙලොව ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු හතරක් පෙන්වා දුන් සේක. එනම්,
01. උට්ඨාන සම්පදා
02 . ආරක්‍ඛ සම්පදා
03 . කල්‍යාණ මිත්තතා
04 සමජීවීකතා
උට්ඨාන සම්පදා යන්නෙන් අදහස් වන්නේ උත්සාහයයි. මෙහිදී අප ධනය ඉපයීය යුත්තේ උත්සාහයෙනි, උත්සාහයෙන් ධනය උපයාගත හැකි ධාර්මික රැකියා වශයෙන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ මෙලෙස දක්වා ඇත.
01.කෘෂි කර්මාන්තය
02.සත්ත්ව පාලනය
03.වෙළඳාම
04.ගෘහ කර්මාන්තය
05.රාජ්‍ය සේවය
වෙළඳාම ධනය උපයන ක්‍රමයක් වුවත් නොකළ යුතු වෙළඳාම් ගැන දක්වනු ලබයි ඒවා වන්නේ,
01.සත්ව වෙළදාම
02.මස් මාංශ වෙළඳාම
03.ආයුධ වෙළඳාම
04.මත්පැන් වෙළඳාම
05.වස විෂ වෙළඳාම
තවද සමාජයට අහිතකර විවිධ වෙළඳාම් ක්‍රම දැකිය හැකිය.
01.තුලා කුට - හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරාදීම.
02. මාන කූට - හොර මිනුම් ක්‍රම භාවිතා කිරීම .
03 . කංසකූට - ගුණාත්මයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම.
මුදල් ඉපයීමට කුමන හෝ වංචාකාරී ක්‍රියාවක යෙදෙන බොහෝ දෙනා අද සමාජයේ දැකිය හැකිය. ඒ අතර බැංකු කොල්ලකෑම, කඩ සාප්පු කොල්ලකෑම බහුලව සිදුවෙයි.
පුද්ගලයෙකු වශයෙන් ධනය ඉපයිය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී උපමා දෙකක් මගින් විස්තර කෙරේ.
" භමරස්සේව ඉරීයතෝ " බඹරා මලින් මලට ගොස් මල නොතලා මල් පැණි රැස්කොට විශාල වූ වදයක් බඳින්නා සේද
" වම්පිකෝ වූපචීයති" වේයා පස් ස්වල්පය බැගින් ගෙනැවිත් විශාල තුඹසක් බඳින්නා සේ ධනය රැස්කළ යුතුය.
අපගේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්ෂා කරගත යුතුවේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකිය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන් , සතුරන්ගෙන් හා රාජසන්තක වීමෙනි.බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ අප විසින් උපයන ධනය අප විසින්ම විනාශ කරගන්නා ආකාරය දක්වනු ලබයි. එනම්,
01.රහ මෙර පානය
02.අවේලාවේ වීදි සංචාරය
03.නිතර නිතර නෘත්‍ය ගීත දර්ශන බැලීමට යාම
04.සූදු කෙළිය
05.පාපමිත්‍ර සේවනය
06.අලසකම
පරාභව සූත්‍රයේ දී බුදුන් වහන්සේ ධනය ඉපයීම සඳහා බලපාන හේතු තුනක් දක්වා ඇත. එනම්,
01.ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
02.සුරාවෙහි ලොල් වීම
03.සූදුවෙහි ලොල් වීමයි
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ධනය වැනසී යන අපාය මුඛ හතරක් දක්වා ඇත. එනම්,
01. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
02.සුරාවෙහි ලොල් වීම
03.සූදුවෙහි ලොල් වීම
04.පාපමිත්‍ර සේවනයේ යෙදීම යනුවෙනි.
ධනය මනාව පරිභෝජනය කර ගත හැකි ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ මෙලෙස දක්වා තිබේ.
"ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”
මෙයින් කියවෙන්නේ තමාට ලැබෙන ධනයෙන් හතරෙන් එකක් භුක්ති විඳීම සඳහාද හතරෙන් දෙකක් අනාගතයේ ආදායම් ලබන කර්මාන්ත සඳහා ආයෝජනයක් ලෙසද ඉතිරිය හදිසි විපතක් ඇති වූ විට ගැනීමට තැන්පත් කළ යුතු බවයි. හතරෙන් එක භුක්ති විඳීම සඳහා යොදාගන්නෙ කෙසේද ?
01.තමාගේ මෙලොව පරලොව වියදම් සඳහා
02.තම අඹු දරුවන්ගේ මෙලොව පරලොව වියදම් සඳහා
03.දෙමව්පියන් ඇතුළු ඥාතීන්ගේ වියදම් සඳහා 04.හිතමිතුරන්ගේ අවශ්‍යතාවයන් සඳහා
05. ශ්‍රමදාන ආදී සමාජ පොදු කාර්යයන් සඳහා ධනය වැය කළ යුතුය.
ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලී ප්‍රතිපත්තියක්ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්,
01.ඥාති බලි - ඥාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම.
02. අථිති බලි - ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම.
03. පුබ්බපේතබලී - මිය ගිය ඥාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම
04.රාජ බලි - රජය උදෙසා යුතුකම් ඉටු කිරීම.
05.දේවතා බලි - ආගමික කටයුතු සඳහා යුතුකම් ඉටු කිරීම.
මෙබඳු යුතුකම් ඉටුකිරීම මඟින් පුද්ගලයා සතු බලය පුද්ගලයාට පමණක් නොව සමාජයට ද ආශිර්වාදයක් වනු ඇත.
අණන සූත්‍රයේ පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයෙකු සැප හතරක් ලබා ගැනීමට වෙහෙස විය යුතු බවයි.එනම් ,
01.අත්ථි සුඛය
02. භෝග සුඛය
03.අණන සුඛය
04.අනවජ්ජ සුඛය
තමා විසින් ධාර්මිකව උපයා ගන්නා ලද බෝග සම්පත් ඇතැයි යමෙකුට සතුටු විය හැකි නම් අත්ථි සුඛය යි. උපයාගත් ධනයෙන් සැප විඳිමි පින් දහම් කරමි කියා සොම්නසට පත්විය හැකිනම් එය භෝග සුඛයයි. කිසිවෙකුට ණයක් නැතැයි සිතා සොම්නසට පත්වීම අණන සුඛයි. මා කයින් සිතින් වචනයෙන් කිසිවෙකුටත් වරදක් කළේ නැත යන හැඟුමින් සතුටට පත්විය හැකි නම් එය අනවජ්ජ සුඛයයි.
මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තිය ඇති කරගත හැකිවෙයි. එසේම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැකිය. එවිට අපේ ආර්ථිකයද ශක්තිමත් වන අතර සමාජයේ ප්‍රගතියටද හේතු වේ.
ඒ අනුව අප ධනය රැස් කළ යුතු වන්නේ,
" උට්ඨාන වීරියාධි ගතා - බහා බල පරිචිතා.
සේදා වක්ඛිත්තා - ධම්මිකා ධම්ම ලද්ධා භෝගා "
උත්සාහයෙන්,වීර්යෙන්,බාහු බලය යොදවමින්,දහඩිය හෙළීමෙන්,ධාර්මික රැකියාවල නිරත වෙමින් ධනය රැස්කළ යුතුය.
නිසිකලට ධනය උපයා ගන්නා නැති පුද්ගලයන් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ මෙලෙස දක්වා තිබේ.
'අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා' ව ඣායන්ති
ඛීණමච්ක්ජේව පල්ලලේ'
සෑම අයෙකුම තරුණ කාලයේදී ධාර්මිකව මිළ මුදල් උපයා ගතයුතුය.එසේ නොකරන තැනැත්තා මහලුවියට ගිය පසු දිය සිදුණු විලක් දෙස බලා සිටිනා කොස්වාලිහිනියකු වැනිය.
'අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපාති ඛිත්තාව
පූරාණානි අනුත්ථුනං'.
සෑම අයෙකුම තරුණ කාලයේදී ධාර්මිකව මිල මුදල් උපයාගත යුතුය.එසේ නොකරන තැනැත්තා මහලු වියට පත් වූ පසු තරුණ කාලයේදී විඳි සැප පිළිබඳ සිතමින් තැවුලෙන් ඉන්නේ දුන්නෙන් විහිදුණු ඊතලය එතැනදීම දිරාපත් වන්නාසේය.
No comments:
Post a Comment