ප්‍රායෝගික ජීවිතයේ මිනිසාට මෙන්ම සත්ත්වයාටද වැදගත් සාධකයක් වනුයේ පරිසරයයි. වාතය, ජලය, ගහකොළ යනාදීන් තුළින් සියලුම සත්වයන් පෝෂණය වන අතර එයින් තොරව කිසිදු සත්ත්වයෙකුට ජීවයක් පවත්වා ගැනීමට සිතීමට පවා අසීරුය.පරිසරය යන්නෙන් ගම්‍ය වනුයේ වායු ගෝලය ජලගෝලය, භූගෝලය, වෘක්ෂලතා හා ජීව යනාදී ගෝල පහක එකතුවකි.පරිසරයේ සෞන්දර්ය භාවය හා එහි වැදගත්කම මුල් වාරයට මුළු ලෝකයටම ප්‍රකාශ කරන ලද්දේ බුදුරජාණන් වහන්සේය. එනම් උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවන් පරිසරය හා සමග බද්ධ වීමෙනි.
උපත - ලුම්බිණි සල් උයන
බුදුබව අත්වීම - ඇසතු බෝ රුකමුල
අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීම
බරණැස ඉසිපතන මිගදායේ ප්‍රථම දහම් දෙසුම
කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් උයනේ පිරිනිවන් පෑම .
ගසක් යට ඉපිද, ගසක් යට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව, ගසක් යට දී පිරිනිවන් පෑ උන්වහන්සේ තුරුලිය, වනපෙත් ,ඇළ දොළ ,සතුන්, ගංගා, මහ මුහුද ,වැස්ස, සුළඟ ආදී පාරිසරික අංග මැනවින් වටහාගෙන ක්‍රියා කළහ. එසේම එහි පැවැත්ම සුරක්ෂිත භාවය අරභයා ප්‍රායෝගිකව මඟ පෙන්වූ සේක." සබ්බේ සත්ථා - භවන්තු සුඛිතත්තා" යනුවෙන් වදාළ උන්වහන්සේ සමස්ත සත්ත්ව වර්ගයාගේ සිත සුව පිණිස පතන්නෙ පරිසරය සියලුම සත්ත්වයන්ට සුරක්ෂිත ස්ථානයක් බව තහවුරු කරනු පිණිසය.
ලෝකයේ විසූ ස්වභාව සෞන්දර්යවාදීන් අතුරින් බුදුරජාණන් වහන්සේට හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයයි. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනීම සඳහා උපකාරී වූයේද ස්වාභාවික පරිසරය බව අරියපරියේසන සූත්‍රයෙන් පැහැදිලි වේ.
ද්‍රෝණ බමුණාට තමන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පරිසරයට ඉතාම හිතකාමී පරිසරවේදියෙකු බවය.
"පුණ්ඩරීකන් යතා වග්ගු තොයේන නූපලිප්පති
නූපලිප්තොම්හි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණෝ"
මඩ ජලයෙහි ඉපිද එහිම හැදී වැඩී ජලයෙන් ඉහලට පැමිණ ජලයෙහි ගෑවී නොගෑවී ඉන්නා නෙළුම් මලක් මෙන් කෙලෙස් ගහන මිනිසුන් අතර ඉපිද හැදී වැඩි කෙලෙස් හා නොගැටී සිටි මම බුද්ධ වෙමි.
" රමණීයො වන භූමි භාගෝ පාසාදිකෝච වනසන්ඩෝ නදිංච සන්දති සොතකා ..."
උන්වහන්සේ භාවනා කිරීමට තෝරා ගන්නා ලද ස්ථානය මැනවින් වැඩුණු වන ලැහැබ මැදින් ගලා බසිනා නිල් ජල ධාරාවකින් හා නදියකින් යුක්තය. තවද සුදෝ සුදු වැලිතලාවකින් ගස් වැල් වලින් සුපිපි කුසමින් යුක්ත නිසා සියල්ලන්ගේම සිත් ඇදගන්නා සුළු බව පෙන්වාදී ඇත.
ස්වාභාවික පරිසරයේ ඇති සම්පත් සාහසික ලෙස පරිභෝජනයට ගැනීම නොකළ යුතු බව උතුම්බර කාධක උපමාව ආශ්‍රයෙන් දීඝජාණු කෝලීය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.එම උපමාව වනුයේ,
" දිවුල් කෑමට අවශ්‍ය කරන පුද්ගලයා ගසට නැඟ අතු සොළවයි. එවිට පැසුණු ගෙඩි පමණක් නොව ගැට, මල් හා අතුද කඩා වැටෙයි. මෙයින් ප්‍රයෝජනයට ගන්නේ ඉඳුණු දිවුල් ගෙඩිය. අනෙක් සියල්ල ගස මුල දමා යයි. '
මෙවැනි ආකාරයේ පරිසර පරිහරණයන් බුදු දහම අගය නොකරයි. පරිසරයේ තිබෙන සම්පත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගත යුතුය. මෙය බෞද්ධ ආකල්පයකි.
" යදා බලාකා සුචිපණ්ඩරච්ජදා
කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලායන්ති ආලයමාලයෙසිනී
තදානදී අජකරණී රමේති මං"
සසර බය නිමා කල රහතන් වහන්සේ මෙලොව පවත්නා ස්වාභාවික අලංකාරයෙන් ආලෝකමත් වන ආකාරය මින් පැහැදිලි වේ. එනම් යම් කලෙක පිරිසිදු සුදු පියාපත් ඇති කෙකිනියෝ කළු පැහැති වළාකුළ නිසා ඇති වූ බයෙන් තැතිගෙන වාසස්ථාන සොයමින් පලාගියද එකල්හි අජකරණී නදිය මා සතුටු කරවයි. යනුවෙන් උන්වහන්සේ තේර ගාථා තුළ මෙලෙස පරිසරයේ සෞන්දර්ය පෙන්වාදී ඇත.
" වස්සති දේවෝ යථා සුගීතං ජන්නා මෙ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි වූපසන්තො
අථ චෙ පත්ථයසි පවස්ස දෙව"
- ථේරගාථා -
බුදුරජාණන් වහන්සේ භාවනා යෝගීව වැඩි සිටි ස්ථානයට පතිත වූ වර්ෂාව තුළින්ද දකින ලද ස්වභාව සෞන්දර්ය මේ අයුරින් වර්ණනාවට ලක් කර ඇති බව පැහැදිලිය.
බුද්ධ දේශනාව මගින් ස්වාභාවික සම්පත්ද ආරක්‍ෂා කර ගැනීම සඳහා පෙන්වා දුන් ක්‍රියාමාර්ගයන් මඟින් ද ස්වභාව සෞන්දර්ය විෂයෙහි බුදු දහම දක්වන ලද ආකල්පය කෙබඳුද යන්න පැහැදිලිය. එනම් ජීව පරිසරයෙහි ශාක වර්ග අතුරින් මුලින් පැලවෙන බීජ, කඳින් පැලවෙන බීජ, පුරුක් වලින් පැලවෙන බීජ,දල්ලෙන් පැලවෙන බීජ, ඇටවලින් පැලවෙන බීජ වශයෙන් පස්වර්ගයකි.
" මූල බීජං,ඛන්ධ බීජං, ඵලු බීජං,අග්ග බීජං, බීජ බීජ මෙව පංචමං ඉතිවා ඉති එව රූපා බීජගාම ...."
- දීඝ නිකාය -
මෙම බීජ වර්ග විනාශ නොකිරීම යහපත් පුද්ගලයකුගේ ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
නිල් තණ මත මළමුත්‍ර බැහැර කිරීම, ජලයට කුණු දැමීම, ඉඳුල් ආදිය දැමීම,කෙළ ගැසීම වරදක් බව පෙන්වාදී ඇත.
" න උදකේ උච්චාරංවා පස්සාවංවා
ඛෙළංවා
කාරිස්සාමිති සික්ඛා කරණියා "
- පාචිත්තිය පාලි -
මෙවැනි කාරණාවන් තුළින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට බුදු දහම ගන්නා ලද උත්සාහය පැහැදිලි වේ.
සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ දී දක්වන පරිදි වන උයන් ඉදිකිරීම, ඒ දඬු මංමාවත් ඉදිකිරීම, ළිං පොකුණු සකස් කිරීම සැමදා පින් වැඩෙන පින්කම් වශයෙන් පෙන්වා දී ඇත.
වායු දූෂණය නිසාද ස්වාභාවික පරිසරය අපිරිසිදුවන බැවින් එයින් මිදීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන ලදී. ගින්නෙන්, විෂවායු නිසාද, අසංවර වචන නිසාද, වායු දූෂණය වන බව දක්වයි.එනම් කේලම් කීම, බොරු කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම නිසා පිටවන වායුව තුළින් අවට පරිසරය දූෂණය වෙයි. බුදු දහමට අනුව වචනයෙන් සංවරවීම තුළින් වායු දූෂණය නැති කරගත හැකිය.
"කායේන සංවරෝ සාධූ
සාධූ වාචාය සංවරෝ...."
- ධම්මපද පාලි -
චක්කවත්තී සීහනාද සූත්‍රය දස සක්විති වන්හි මෙසේ සඳහන් වේ. මේ මඟින් රටේ පාලකයා තිරිසන් සතුන් එනම් පරිසරය පවා සංරක්ෂණය කළ යුතු බව පෙන්වා දිය හැකිය.
පරිසරය පිළිබඳවද සත්ත්වයන් පිළිබඳව ද ඉතා සංවේදීතාවයෙන් කටයුතු කරන්නේ නම් පාරිසරික අර්බුදවලින් තොරව මිනිසාට ජීවත් විය හැක. අප සෑම සත්ත්වයෙකුටම මෛත්‍රීය කළ යුතුය. කරණීය මෙත්ත සූත්‍රයට අනුව මවක් සිය එකම පුතු යම් සේ ජීවිතය මෙන් රකීද එසේම සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය වැඩිය යුත්තේය.
" මාථා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසංභාවයේ අපරිමාණං"
ඉහත සඳහන් කරන ලද කරුණු වලට අදාළව පාරිසරික සෞන්දර්ය හා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම බුදුදහමින් මනාව පෙන්නුම් කර ඇත.
No comments:
Post a Comment