Tuesday, February 13, 2024

නිර්මාණාත්මක සන්නිවේදන කාර්යයේදී ජනශ්‍රැති භාවිතය .

                     



කාලාන්තරයක් තිස්සේ මානව ජන සමාජය තුළ මූලික වශයෙන් කටවහර ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය කරන ලද මානව ජන සමාජ ආශ්‍රිත නොයෙකුත්  පබැඳුම් ජනශ්‍රැතිය තුළ අඩංගු වේ. ජනශ්‍රැතිය යන පදය ඉංග්‍රීසි ශාස්ත්‍රීය ලෝකය තුළ Folk- Lore නමින් මුලින්ම ව්‍යවහාර වූයේ  1946 ලන්ඩන් ශාස්ත්‍රිය සංග්‍රහයක් වන ඇතීනියම් හිදීය.

     ජනශ්‍රැති, ජන කලා,ජන කවි, ජන ගීත, ජන විශ්වාස ,ඇදහිලි අභිචාර විධි, චාරිත්‍ර වාරිත්‍ර, තේරෙවිලි, උපමා, ප්‍රස්ථාව පිරුළු, අධිවිශ්වාස, ජන වෙදකම, කෙම් ක්‍රම, ජන සංගීතය, ජන ක්‍රීඩා, ජන උත්සව, වෘක්ෂ ශ්‍රැති ,සත්ව ශ්‍රැති, යාතුකර්ම,විශ්වාස ඇතුළු පාරම්පරික දැනුමේ සමස්තයෙන් මේ ජන උරුමය සෑදී තිබේ. මෙලෙසින් ජනශ්‍රැති   පාරම්පරික ඥාන සම්භාරයක් ලෙස හැඳින්විය හැකිය.


"ජනශ්‍රැතිය වනාහී මිනිසාගේ සාමූහික චින්තන නියෝජිතය යි "

                                                                - ලුවී බුදල් - 

"කුඩා කණ්ඩායම් ආශ්‍රිතව පැන නගින කලාත්මක සන්නිවේදනය ජනශ්‍රැතියයි".

                                                            - ඩෑන් බෙන්, අමෝස් 1972 -


ජනශ්‍රැතිවල විශ්වසනීයත්වය ගොඩනැගෙන්නේ ඒවා ඉතිහාසය හා ආගම  සමග බද්ධ වීම හේතුවෙනි. එසේම කෘෂිකර්මාන්තය ඇතුළු ජීවන ක්‍රම හා මානව විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂය හා ක්‍රියාකාරකම් රාශියක් සමඟ ජනශ්‍රැතිය බැඳී තිබේ.


ජනශ්‍රැතියේ බිහිවීම හා ලක්ෂණ 

බිහිවීම : 

✷ජන සමාජයක විනෝදාස්වාදය මුල් කරගනිමින් බිහිවීම අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් ලෙස පරම්පරාගත ඥානය පවත්වාගෙන යාම සඳහා බිහිවීම

 ✷ප්‍රාථමික මිනිසා තුළ පැවති කුතුහලය මත පදනම්ව බිහි වූ ජන ආගම් විශ්වාස හා ඇදහිලි හේතුවෙන් බිහිවීම 


ලක්ෂණ : 

✷ඉතා සරල භාෂාවක් භාවිත කිරීම 

✷භාෂාව කට වහරට ඉතා සමීප වීම 

✷මනංකල්පිත හා අතිශයෝක්තිය බහුල වීම 


නිර්මාණාත්මක සන්නිවේදන කාර්යයේදී ජනශ්‍රැතිය භාවිත කිරීමට හේතු ,

✷ජනශ්‍රැතියේ හා ජන කලා ජනයාගේ අත්දැකීම් පසුතලයට සමීපව ගොඩනැගී ඇති බැවින් නිර්මාණයේදී ඒ අත්දැකීම් භාවිත කිරීමට  හැකිවීම ඵලදායි සන්නිවේදනයකට  හේතුවේ.

✷ජනශ්‍රැති  හා ජනකලා ඇසුරු කිරීම මගින් කෙරෙන නිර්මාණ ඔස්සේ තමාට හා තම ජන කණ්ඩායමේ විඤ්ඤාණයට සමීප යන හැඟීමක් ජනනය කළ හැකිය. එය ග්‍රාහක ආකර්ෂණය වර්ධනය වීමට හේතු වේ.

✷ජනශ්‍රැති  හා ජනකලාවල භාවිත වන සංකේත ඉදිරිපත් කරන සමාජ අවස්ථා පහසුවෙන් අවබෝධ කර ගැනීමට ඇති අවකාශ නිසා එමඟින් ඉදිරිපත් කරන සංකේත ග්‍රාහකයාට ග්‍රහණය කර ගැනීමට හැකි වේ. මේ නිසා ඒ නිර්මාණ කෙරෙහි ගොඩනැගෙන විශ්වසනීයත්වය ප්‍රබලය.

✸ජන කතාවක හා ජන කලාවක අංග අධ්‍යයනය කොට වේදිකා නාට්‍යයක, වීදි නාට්‍යයක ,විවිධ සංවාද අවස්ථාවල යොදා ගනිමින් සමාජයට ගැලපෙන සංවර්ධන සංදේශ වඩාත් ප්‍රබල ලෙස ජනගත කළ හැකිය.


ජනශ්‍රැතිය  බොහෝවිට ආගමික හෝ අභිචාරමය සබඳතාවයක් දක්වන ප්‍රකාශන ලෙස හඳුනාගත හැකිය.

නිදසුන් : උඩරට සොකරිය ජන නාටකයක් ලෙසත් අනෙක් අතින් තෙරුවන් හා පත්තිනි දෙවියන් ඇතුළුව දෙවියන් විෂයෙහි බලපැවැත්වෙන ප්‍රකාශන කිහිපයකි.


මෙහි ප්‍රබල මනෝවිද්‍යාත්මක පැතිකඩක් සහිත බව කාල් ජුන්ග් මනෝවිද්‍යාඥයා පෙන්වා දෙයි.

නිදසුන් : උඩරට බලිය හෝ පහතරට ශාන්ති කර්ම ගත් විට එහි ගායන ශෛලිය, වාදන ශෛලිය, අලංකාර හැඩතල, වර්ණ සංයෝජනයන් මගින් අභිප්‍රේතවත් කරන ප්‍රපංචය කෙරෙහි මනෝ විද්‍යාත්මක ගවේෂණයක් ලෙස සාම්ප්‍රදායික ජන සමාජයෙහි භාවිතයකි.


පහතරට රිද්‍දියාගය ශාන්ති කර්මය : 

සාම්ප්‍රදායික ජන සමාජයෙන් ලිංගිකත්වය පිළිබඳ පැවති දෘෂ්ටිය හා එම විෂයෙහිලා ගැමි ජන සම්බන්ධතා උපදේශන ක්‍රමයක් ලෙස පවුල් ආශ්‍රිත සම්භෝගය විද්‍යාත්මක ආකාරයෙන් කියා දීමක් රිද්දි යාගයෙන් සිදුවේ.

වද කාන්තාව, ගර්භනී කාන්තාව, දරුවකු ලද මාතාව, ලැබුණු දරුවා යන අරමුණු තුනම පෙරදැරි කරගෙන එමඟින් ඉදිරිපත් කරන ප්‍රකාශනය තුළ ප්‍රබල ලිංගික ඉදිරිපත් කිරීම කරනුයේ බාල, මහළු ,වැඩිහිටි ,පූජක ආදී සියලු සමාජ කොටස්වලටම එකට හිඳ බැලීමට හැකිවන පරිදි නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමෙනි.

ක්‍රමයෙන් ලිංගික ආකර්ෂණය වැඩි කරමින් මධ්‍යම රාත්‍රිය කරා එළඹෙන්නේ පිරිමි යක් දෙස්සෙකු විසින් කාන්තාවක ලෙස සමාරෝපණයව ස්ත්‍රියක් දියනාන ආකාරය, වරලස මුදා හැර එය සකස් කරන ආකාරය වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් නානුමුරය අවස්ථාව තුළ නිරූපණය කිරීමෙනි. අනතුරුව යක්දෙස්සන් දෙදෙනෙකු විසින් බිම පැදුරක නිදා දෙදෙනා එකිනෙකට මුහුණලා සමීපව මෝල් ගසක් ගෙන දක්වන සංකේතාර්ථවත් රංගනය ඔස්සේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය සිදුකරන කායික පිහිටීම මැනවින් ප්‍රාථමික ගැමි සමාජයට කියාපානු ලබන අධ්‍යයන ක්‍රමයක් ලෙසත් මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමයක් ලෙසත් මෙය හඳුනාගත හැකිය.


ජනා ශෘතිය පාදක කර ගනිමින් බිහි වූ ගීත,සිංදු, වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය, සිනමා ,වෙළඳ දැන්වීම් දැකගත හැකිය.


ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහිවූ ගීත,


රෝහණ බැද්දගේ මහතා ගායනා කරන,

" සකිය සගව්වට රෝදය කැරකෙනවා...."    

" කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ ...."


බන්දුල විජේවීරයන් "හුලවාලී "

චිත්‍රපටයේ ගායනා කරන,

  " කුලගෙදරින් දුම්බර කඳු වැටියේ

 කැන්දන් එනවා දුම්බර මැණිකේ ...." 


මල්සරා බැල්ම හෙලා ගීතය 

" මල්සාරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා.. 

රන්මලී දැක්ක ගමන් මල් මල්වාරම් කිය වෙනවා ..

හිත බැන්ද සෙනේ මන් පවසන්නම්ද කොයි ලෙසින් රන්මලී ......" 

මේ සඳහා යොදාගෙන තිබෙන ජනශ්‍රැතිකාංග වන්නේ,

🟒අත් රබන් ශාන්ති කර්මයේ එන තොවිල් කවි 

🟒කවි නාඩගම් 

🟒මල්වාරම් ගී විරිත

 🟒සබරගමු නර්තන සම්ප්‍රදායේ තිසරා වන්නමේ නාදමාලාව.


" කැලේ හැදෙන කිරි මදු වැල් කපල්ලා 

දොළේ ගලන සීතල දිය බීපල්ලා 

යලේ කන්න ගොඩදාලා දීපල්ලා 

අඹරුවනේ රට රැකුනේ තොපි හින්දා  ..."


අමල් බිසෝ කතාව ( කොකයි කෙකිනිගෙයි කතාව) පාදක  කරගනිමින් බණ්ඩාර ඇහැලිය ගොඩ දොර නාරින් අමල් බිසෝ ගීතය නිර්මාණය කිරීම .

" මගේ අමල් බිසෝ දොර අරින් නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන්  වෙසේ නුඹ මුදු කරේ තනියෙන් ...." 


ජනශ්‍රැති ආශ්‍රයෙන් රන්වල බලකාය ගීත නිර්මාණය කිරීම,

" අද ඉපදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..."

" සෝබනී "

"සඳ සාවී මා ... "    



ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහි වූ වේදිකා නාට්‍ය , 


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ "මනමේ" නාට්‍යය :- චුල්ල ධනුග්ග ජාතකය

දේශීය කෝලම් 

කවි / නාඩගම්හි ආභාසය ලබා ඇත.


ජාලිය රාජපක්ෂ විසින් රචිත "සොකරි"  සඳහා බහුලව යොදා ඇත්තේ ජනශ්‍රැතිකාංගයි එහිදී,

🟒සොකරිව සොයා ගැනීම සඳහා ගුරුහාමී කතරගම දෙවියන්ට බාර වීම .

🟒කතරගම දෙවියන් සොකරි සිටින තැන පෙන්වීම 

🟒ගුරු හාමි සොකරිව ගෙදරට කැන්දන් යාම.(එයින් පෙනෙන්නේ ජනයා දෙවියන් කෙරෙහි පවතින ඇදහිලි විශ්වාසයන්ය)

 🟒ගුරු හාමිගේ සේවකයා පරයා හෙවත් පච්චමීර වෙස් මුහුණක් පැළඳ රංගනයේ යෙදේ.( පාරම්පරිකව පැවත ආ වෙස් මුහුණු මේ තුළින් නිරූපණය වේ) 

🟒ගැමි වාද්‍ය භාණ්ඩ ලෙස ගැටබෙරය, තාලම්පට, හොරණෑව යොදාගෙන ඇත.


ජනශ්‍රැතිය යොදා ගනිමින් බිහි වූ චිත්‍රපට, 


ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ලාංකීය ඉතිහාසයේ ප්‍රථම චිත්‍රපටිය වන " රේඛාව " තුළද ජනශ්‍රැතියේ ප්‍රමුඛ සාධක වන ඇදහිලි, විශ්වාස ආදිය මනාව පිළිබිඹු වේ.    


මෙහි ප්‍රධානතම සිද්ධිය නම් "දේව වරමකින් සත්කාර කිරීමේ වරම ලබාගන්නා ළමයාට යකෙක් වැහී ඇතැයි ගම්මුන් ඔහුට කරන අමානුෂික වද හිංසනයයි. එමෙන්ම කවදාවත් නැති නියඟයක් ගමට එයි. එයද කොලුවාගේ යක්ෂ බැල්ම නිසා යැයි සැක කරන ගැමියෝ ඔහුට වද හිංසා දෙති."  


මෙවැනි කරුණු තුළින් ගම්‍ය වනුයේ ජනයාගේ ඇදහිලි විශ්වාසයන් හා අද්භූත සිදුවීම් මනාව එහි කෙටි කොට තිබෙන ආකාරයයි.


බැද්දේගම චිත්‍රපටය, 

" පුංචි රාළ වෙදාගේ උසිගැන්වීමෙන් මුවා යක්ෂ අවතාරයක් යැයි සිතා හිමිහාමි මරා දමන ලදී."

"මතක තියාගනින් මේ ගස්වලත් යක්කු නටන වග." 

මෙහිදී ජනශ්‍රැති  තුළ අන්තර්ගත වන අමනුෂ්‍ය දෝෂ අදෘශ්‍යමාන බලවේගයන් චිත්‍රපටය තුල යොදාගෙන තිබෙන ආකාරය  මනාව පැහැදිලිවේ.


වලගම්බා පුවත ආශ්‍රයෙන් බිහි වූ චත්‍ර වීරමන්ගේ  "ආලෝකෝ උදපාදි "චිත්‍රපටය.


මීට අමතරව, ඝරසර්ප, සිරිපැරකුම්, අබා,කදිර දිව්‍යරාජ, සූරිය අරණ, පත්තිනි, කතුරු මිතුරු,මහින්දාගමනය, සිරි දළදාගමනය,මහරජ අජාසත් යනාදි චිත්‍රපට බිහිවීම.


ජනශ්‍රැති ආශ්‍රයෙන් බිහි වූ ටෙලි නාට්‍ය, 


ගැල් සාත්තුවා, කළුවර ගෙදර, රිදී ඉට්ටම්කරය, ඉසිවර අසපුව,මනෝකාය ,ගජමන් නෝනා, එකට ගැටුම, දෙරණ,  බෝගල සවුන්දිරිස්, ඉසුරු යෝගය, විශ්මය, අසිනි වැසි.


ජනශ්‍රැති ආශ්‍රයෙන් බිහි වූ වෙළඳ දැන්වීම්, 


🟒සංකුයික් වෙළෙඳ දැන්වීම ( තෑගි දෙන සාස්තරේ ) 

🟒ගමේ ආරච්චි චරිතය යොදාගෙන සිංහ සිමෙන්ති වෙළෙඳ දැන්වීම නිර්මාණය කිරීම.

🟒Dialog වෙළඳ දැන්වීම - "ඇවිල්ලා ඇවිල්ලා පුතා ඇවිල්ලා ..."  (මහ ගෙදර සංකල්පය ,පිත්තල පහන්, කැවුම්, බුලත්, කමත, පන්සල, අවුරුදු උත්සවය යනාදී පිළිබිඹු වීම)  

🟒ලංකාබෙල් වෙළෙඳ දැන්වීම  

🟒සුපිරිවිකි වෙළඳ දැන්වීම (  පින්තාලිය ආශ්‍රයෙන් සැකසී තිබීම) 

🟒Caltex වෙළෙඳ දැන්වීම .


මේ කරුණු ඔස්සේ බලන විට ආයතනයක් තම නිෂ්පාදිත  භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරලීම සඳහාද පුද්ගලයන් තමාගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහාද ජන මනසට ආමන්ත්‍රණය කරලීමේ පහසු ක්‍රියාමාර්ගයක් ලෙස ජනශ්‍රැතිකාංග භාවිතා කරමින් මෙවැනි වූ නිර්මාණයන් සිදුකරන ආකාරය දැකගත හැකිය.

No comments:

Post a Comment

පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන තීරු ලිපි

          තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂ...